Wednesday, November 28, 2018

පෝයදා රෑ විලාපය

මේ තියෙන්නෙ ඉන්දියාවෙ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙ පුනා වල තියෙන ශානිවාර්වාදා බලකොටුව..
හැම පෝය දාකම රෑට
ඉතිහාසයෙන් ඉතිරි වෙච්ච
බිහිසුණු විලාපයක් ඇහෙන
අද්භූත තැනක්..
ශානිවාර්වාදා බලකොටුවෙ හැංගිච්ච කතන්දර ගොඩක් තියනව.
ඒවායින් වැඩියත්ම ප්‍රසිද්ධම දේ තමයි අර විලාපයෙ කතන්දරේ..
මේ බලකොටුව හදල තියෙන්නෙ දහ අට වෙනි ශත වර්ශයෙ..
ඒ කාලෙ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය පාලනය කරල තියෙන්නෙ
නානාසාහෙබ් කියල රජ කෙනෙක්..
මේ මහාරාජාට පුත්තු තුන් දෙනෙක් උන්නලු.
මාධව්රාවෝ, විශ්ව රාවෝ, නාරායන් රාවෝ කියල.
මේ නානාසාහෙබ් රජතුමා යුද්ධයකින් මැරුණට පස්සෙ රජකම අයිති වෙලා තියෙන්නෙ මාධව්රාවෝ කුමාරයට..
ඒත්.. වැඩි කාලයක් යන්න කලින්
මාධව්රාවෝ රජතුමාටත්, විශ්වරාවෝ කුමාරයාටත් දෙන්නටම යුධ බිමේදිම මැරෙන්න සිද්ධ වුනාලු..
ඉතිරි වුනේ නාරායන්රාවෝ කුමාරයා විතරයි.
එතකොට නාරායන්රාවෝ කුමාරයාගෙ වයස අවුරුදු දාසයයි..
රජකම බාර ගන්න තරම් වයසක් නෑ..
ඒ හින්ද මහාරාශ්ට්‍රයෙ පාලනය බාර වෙන්නේ
රගුනාත්රාවෝ ට.. ඒ කියන්නෙ කුමාරයගෙ මාමට..
කුමාරයා නිසි වයසට එනකල්
රාජ්‍ය පාලනයයි කුමාරයගෙ ආරක්ෂාවයි දෙකම බාර වෙන්නෙ රගුනාත්රාවෝට..
ඒත් රගුනාත්රාවෝට මේ රාජ්‍යය ගැන කෑදර කමක් ඇති වෙනව..
ඒ කෑදර කමට පොහොර දාන්නෙ රගුනාත්රාවෝගෙ බිරිද.. ආනන්දිබා..
ආනන්දිබාට උවමනා වෙන්නෙ මහාරාශ්ට්‍රයෙ රැජින වෙන්න..
රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න ඉන්න ඇමතිවරුන්
මේ මාමයි බෑනයි අතරෙ සීතල යුද්ධයක් අවුලනව..
මාමාගෙ බල තණ්හාව.. නැන්දා රාජ්‍යය ගැන තණ්හාවෙන් ඉන්න එක ගැන කුමාරයට කියල
කුමාරයගෙ හිතේ වෛරය පුරවනව..
කුමාරය වුණත් රාජ්‍යෙය අයිති කාරයනෙ
කුමාරය තමන්ගෙ බල තල පාවිච්චි කරල මාමව හිර කරනව..
කාමර අඩස්සියෙ තියනවා..
මාමා රගුනාත්රාවෝ ගාඩි කියන දඩයම් ගෝත්‍රයක් එක්ක හරි හිතවත්.. ඒ දඩයම් ගෝත්‍රය කුමාරයට එච්චර මනාපයක් නෑ..
මාමා ගාඩි ගෝත්‍රයෙ නායකයට ලියුමක් යවනව..
“නාරායන්රාවෝ කුමාරයාගෙන් මාව බේරගන්න“ කියලා..
ලියුම ගෙනියන පණිවිඩ කාරයට ආනන්දිබා මුණ ගැහෙනව..
පණිවිඩ කාරයට අල්ලසක් දීලා ආනන්දිබා ලියුම වෙනස් කරනව..
“නාරායන් රාවෝ කුමාරයා මරලා මාව බේරගන්න“ කියලා.
හද පායපු දවසක රෑ මැද්දෙ
කුමාරය එයාගෙ කාමරේ නිදාගෙන ඉදල
එක පාරටම නැගිටිනකොට
කුමාරය දකිනව
තමන්ගෙ ඇද වටකරගෙන කවුදෝ මිනිස්සු වගයක්..
කඩු පිහි අතින් අරන්..
ගාඩි ගෝත්‍රයෙ නායකයා එව්ව දරුණු ඝාතකයො තමයි ඒ..
කුමාරයා ඇදෙන් පැනල කෑ ගහගෙන දුවනව..
“අනේ මාමේ මාව බේරගන්න“ කියලා..
මිනීමරුවන්ගෙන් බේරෙන්න කුමාරයා මුලු බලකොටුව වටේම දිව්වත්
මාමාවත් නැන්දාවත් කවුරුවත් කුමාරයව බේරගන්න ආවෙ නැහැ..
මිනීමරුවෝ කුමාරයාව කෑලි වලට කපලා ගගට දැම්මා..
අදටත්
හද පායපු පෝය දාට
ෂානිවාර්වාදා බලකොටුවෙ
උස බිත්ති මැද්දෙ
“අනේ මාමේ මාව බේරගන්න“ කියලා කුමාරයාගෙ විලාපය දෝංකාර දෙනවා..
ඒ නිසා මේ ෂානිවාර්වාදා බලකොටුව
ඉන්දියාවේ තියෙන අද්භූතම තැනක් විදිහට ප්‍රසිද්ධයි.

Monday, November 26, 2018

ඔලිම්පික් උලෙලටත් ගිය “දුප්පතාගේ කුරුටු ගීය”.


තවත් දවසකට රැය පහන් වී තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන්ට එක දෙයක් ගැන නම් විශ්වාසය. ඒ අද උදෑසනට ඉර පායා නැතත්, අර කුරුටු වචනය නම් පාරක් පාරක් ගාණේ, තාප්පයක් තාප්පයක් ගානේ ඇති බවය.
එය සිඩ්නි නුවර වැසියන්ට එතරම්ම හුරු පුරුදුය.
ඒ කුරුටු වචනය පාරක් පාරක් ගාණේ, තාප්පයක් බිත්තියක් ගාණේ ලියවෙන්නට පටන් ගත්තේ අදක ඊයේක පටන් නොවේ.
අවුරුදු විසි පහක් තිස්සේ දැන් ඒ වචනය සිඩ්නි නුවර වැසියන්ට හුරු පුරුදුය.
 Eternity
1930 අවුරුද්දේ සිට 1956 අවුරුද්ද වෙන තෙක්ම සිඩ්නි නගරයේ වැසියන් උදෑසන අවදි වන විට නගරයේ හැම මහපාරකම, අඩි පාරකම, හැම තාප්පයකම, හැම දුම්රිය පොලකම කහ පැහැති හුණු කූරකින් මේ වචනය ලියා තිබෙනු දකින්නට හැකි විය.
එහෙත් තඹ පතක කුරුටු අකුරු මෙන් පරණ පන්නයේ වැල් අකුරින් මේ වචනය තාප්ප වලත් පාරවල් ගාණේත් ලියන පුද්ගලයා නම් මේ අවුරුදු විසිපහ තිස්සේම කිසිවෙකුට දැක ගන්නට බැරි විය.
කවුරුන් හෝ අද්භූත පුද්ගලයෙකු මහ රෑ මැද්දේ නගරයට රිංගා නගරයේ හැම තැනකම “eternity “ යනුවෙන් තම පැමිණීමේ සලකුණ තබයි.
නගරයේ හැම තැනම කෙරෙන මේ කුරුටු ගෑම නිසා මුල් කාලයේ නම් මේ කුරුටු සටහන සිඩ්නි නුවර නගර සභාවේ දැඩි අප්‍රසාදයටත් කෝපයටත් ලක් වීය. එහෙත් දින පතා මේ කුරුටු වැකිය නගරයේ හැම තැනම ලියවී තිබිණ. දින සති බවටත්, සති මාස බවටත්, මාස අවුරුදු බවටත් පත්ව ගෙවී යද්දී සිඩ්නි වැසියෝ මේ කුරුටු ගීයට හුරු වූහ. “Eternity” හෙවත් “සදාකාලිකත්වය” යන වචනය සිඩ්නි නගරයේ තදින් සලකුණු වූ සංකේතයක් බවට පත් විය. ඒ කුරුටු වචනය පාරක ලියා ඇති විටක ඒ මගෙහි ගමන් කරන්නන් එය නොපෑගෙන සේ පරිස්සමින් මගහැර යන්නට පුරුදු වූහ. පාර අතුගාන නගරසභා සේවකයින් පවා ඒ සටහන නොමැකෙන සේ පාර අතුගාන්නට හුරු වූහ. තාප්ප පිරිසිදු කරන්නෝ ඒ අපූරු අකුරු පෙල මකා දැම්මේ නැත.
මේ අපූරු අකුරු වැල ලියන අද්භූත මිනිසා ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ කුරුටු චිත්‍ර කලාකරුවා බවට පත් වීය. මේ වැකිය ලියන නමක් ගමක් නොදන්නා මිනිසාව කවුරුත් හැදින්නුවේ “මිස්ටර් එටර්නිටි” යනුවෙනි.
1959 අවුරුද්දේ එක් උදෑසනක් වන තෙක් මේ “මිස්ටර් එටර්නිටි” යනු කවුරුන්දැයි කිසිවෙකු දැන උන්නේ නැත. වසර විසි හයක් පුරාවටම සිඩ්නි නුවරට මෙන්ම ලෝකයටම රහසක් වී තිබිණ.
1956 අවුරුද්දේ දිනක උදෑසනම සිඩ්නි නුවර බර්ටන් වීදියේ බැප්ටිස්ට් දේවස්ථානයේ දේවගැතිවරයා වූ ලිස්ලේ එම් තොම්ප්සන් දේවස්ථානයෙන් පිටතට ආවේය. ඔහු එක්වරම දුටුවේ දේවස්ථානය පිරිසිදු කරන්නට එන කම්කරුවෙකු වෙනදාටත් වඩා උදේම පැමිණ ඇති අන්දමය. කම්කරුවා මෙතරම් උදෙන් පැමිණියේ ඇයිදැයි දැනගන්නට පියතුමා ඈත සිට බලා උන්නේය.
බිම හිදගත් කම්කරුවා තම කබා සාක්කුවට අත දමා එහි වූ යමක් පිටතට ගත්තේය. ඒ කහ පාට හුණු කූරකි. ඉන්පසුව ඔහු දේවස්ථානයේ එලිපත්ත මත යමක් ලිව්වේය.
ඒ හුරුපුරුදු සලකුණ දේවගැතිවරයා අදුනා ගත්තේය.
                “Eternity”
දේවගැතිවරයා ඉක්මන් ගමනින් කම්කරුවා අසලට ගියේය.
“ඔහේ නේද “මිස්ටර් එටර්නිටි”..?”
“එහෙමයි පියතුමනි.. සමාවෙන්න..” කම්කරුවා බිමට නැවුණු හිසින් යුතුව උත්තර දුන්නේය.
මේ සොයාගැනීමෙන් වැඩි වෙලාවක් යන්නට කලියෙන්  Sunday Telegraph පුවත්පතෙහි මාධ්‍යවේදියෙක් ඔහු සොයා පැමිණියේය.
අවුරුදු විසිපහක් පුරා සිඩ්නි නුවර වැසියන් නොදැන උන් රහස එලිකෙරිණ. නාදුනන කුරුටු චිත්‍ර ශිල්පියාගේ නම ආතර් මැල්කම් ස්ටේස් ය.
1885 අවුරුද්දේ රෙඩ්ෆර්න් නගරයේ උපත ලද ස්ටේස්ගේ ළමා අවධිය මෙන්ම තරුණ වියෙන් වැඩි කාලයක්ද ගෙවී ගියේ දුප්පත්කමේ අන්තිම අඩියේ අනන්ත දුක් විදිමිනි. ඔහුගේ දෙමාපියන් දෙන්නාම බීමතට ඇබ්බැහි වී උන්හ. ඔහුගේ අක්කලා ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියහ. ජීවත් වෙන්නට ස්ටේස් නොකළ දෙයක් නැත. වරෙක ඔහු කඩවල් වලින් පාන් සොරකම් කොට අසුවී ගුටි කෑවේය. බඩගින්න දරා ගන්නට බැරි තැන කසල බදුන් අවුස්සා ඉදුල් අහුලා කෑවේය.
වයස අවුරුදු දොලහ වෙන විටම ස්ටේස් මුරකරුවෙකු ලෙස රැකියාවක් කරන්නට පටන් ගත්තේය. ඉන් පසු ගල් අගුරු කම්කරුවෙකු ලෙසද කලක් වැඩ කළේය. වැඩි කලක් යන්නට කලින් දෙමාපියන් මෙන්ම ඔහුද බීමට ඇබ්බැහි වුණේය. බීමතින් හැසිරීම නිසා ඔහු පහලොස් වතාවක් පමණ සිරගත වූයේය.
ඔහුට අවුරුදු විසි ගණන් වන විට ගණිකා නිවාස වල හා මත්පැන් හල් වල මත්පැන් බෙදන සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන්නේය. ඉන්පසු ඔහු සූදු පොලවල් වල ඔත්තු බලන්නෙකු ලෙසද රැකියාව කලේය.
පළමු ලෝක යුද්ධ කාලය තුළ ස්ටේස්ට ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවේ කම්කරුවෙකු ලෙස රැකියාවක් ලැබිණ. එහෙත් රෝගාතුර වීම නිසාම ඔහුට ඒ රැකියාවද අහිමිව ගියේය.
අවාසනාවම උරුම කරගත් ඔහුට ජීවිතයේ සැනසීමක් ලැබුණේ දවසක් අසන්නට ලැබුණු එක් දේශනයක් නිසාය. ඒ 1932 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී බැප්ටිස්ට් පූජකවරයෙකු වූ ජෝන් රයිඩ්ලි විසින් පැවැත්වූ "Echoes of Eternity" නම් දේශනාව අසන්නට ලැබිමය. ඒ වචනය ඔහුගේ සිතට තදින් කා වැදිණ.
“සදාකාලිකත්වය.. සදාකාලිකත්වය.. මම සදාකාලිකත්වය සොයාගෙන යන්න ඕන.. කවදා හරි.. කොහොම හරි..” ඔහුගේ සිතේ සටහන් විය.
ඔහු දේශනය පැවැත්වුණු පල්ලියේම බිමට නැවී අත වූ කුඩා හුණු කූරකින් Eternity යන වචනය පොලව මත ලීවේය.
ඔහු නූගතෙකි. වෙනකක් තබා ඔහුගේ නමවත් හරියට ලියා ගන්නට බැරි කෙනෙකි. එහෙත් ඔහු අතින් Eternity යන වචනය අපූරුවට ලස්සනට ලියවුණේය.
“ඒක කොහොම වුණාද මන්දා.. මට ඒක තේරුම් ගන්න බෑ.. තාමත් මට ඒක තේරුම් ගන්න බෑ..” පසුකලෙක ඔහු පුවත්පතකට කීවේ එසේය.
ඒ දේශනය ඇසුවායින් පසුව එළඹි හැම දිනයකදීම උදේ පාන්දර අවදිවන ඔහු ඒ වචනය සිඩ්නි නගරයේ වීදියක් වීදියක් ගාණේ, තාප්පයක් තාප්පයක් ගානේ ලීවේය. ඒ කාටත් නොපෙනෙන්නට හොරෙන්ය. මේ කුරුටු ගී ලිවීම අහු වෙන්නට ගිය වාරද අනන්තය.
“සමහර විට දෙවියෝත් මට ආශිර්වාද කරන්න ඇති.. මං කාටවත් අහු වුණේ නෑ..” ඔහු කීවේය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහු විසින් ඒ වචනය මිලියන බාගයකට ආසන්න වතාවක් ලියා තිබිණ. ස්ටේස් දශක ගණනක් තිස්සේ පාරවල් දිගේ ලියූ මේ වචනය නොමැකෙන ලෙස සිතුවම් වූයේ සිඩ්නි වැසියන්ගේ හදවත් තුළය. ඒ කුරුටු සිතුවම කොතරම් දුර දිග ගියාදැයි කිවහොත් එය සිඩ්නි වරායේ පාලම මත දැවැන්ත නියෝන් අකුරින් සටහන් වන දිනයක්ද එළඹිණ.
ඒ වසරේම, එනම් 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උලෙලේ සමාරම්භක උත්සවය තුළ සිඩ්නිහි අනන්‍යතාවය ලෙසින්ද ස්ටේස්ගේ කුරුටු වැකිය ලෙල දුන්නේය.
Eternity පුවරුව තවමත් සිඩ්නි නගරයේ තැනින් තැන දැවැන්ත පුවරු වල සටහන් වෙයි. එහෙත් දුප්පත් ස්ටේස් නගරය පුරා මිලියන වතාවක් ලියූ Eternity කුරුටු සිතුවමෙන් දැන් ඉතිරිව ඇත්තේ දෙකක් පමණකි.
එකක් ඔහු විසින්ම ඒ් වචනය ලියා ඔහුගේ අසල්වැසි දුප්පතෙකුට දුන් පරණ කාඩ්බෝඩ් කැබැල්ලකය. ඒ කොළ කැබැල්ල දැන් ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ජාතික කෞතුකාගාරයේය.
ඔහුගේ අනෙක් කුරුටු සටහන තිබෙනුයේ සිඩ්නි නගරයේ තැපැල්හලේ ඔරලෝසු කණුවේ ඇති සීනුව ඇතුලතය.

නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ
26.11.2018

කැප්පෙටිපොල වීරයා


මේක අද කොහොම හරි
කියන්නම ඕනේ කතාවක්..
..................................
එදාත් අද වගේ දවසක්..
නොවැම්බර් 26 වෙනිදා දවසක්..
එදාත් වෙනදා වගේ ඉර පෑව්වත් අපේ රටට මහා අන්ධකාර දවසක්..
නුවර බෝගම්බර වධක පිට්ටනියේ
ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෝ රැස් වෙලා..
වධක පිට්ටනිය මැද දන්ගෙඩිය.. ඒ ලග වධකයෝ..
කඩු අතින් අරන්..
ටික වෙලාවකින් බෝගම්බර පිට්ටනියට තවත් දෙන්නෙක් එක්කරගෙන ආවා..
ඒ අපේ සිංහල වීරයෝ දෙන්නෙක්..
අපේ රට ඉංග්‍රීසින්ගෙන් බේර ගන්න හටන් කරපු වීර සෙන්පතියෝ දෙන්නෙක්..
එක්කෙනෙක් මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා..
අනිත් කෙනා මඩුගල්ලේ නිලමේ තුමා..
එදා ඒ බෝගම්බර පිට්ටනියේදී ඒ දෙන්නගේ හිස් ගසා දාන දවස..
ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්දව කැරලි ගහපු වැරැද්දට..
ඉංග්‍රීසි නිලධාරින් බලා හිටියේ
මේ දෙන්නා මරණ බයෙන් වැලපෙන හැටි දකින්න..
ජීවිත දානය දෙන්න කියලා ආයාචනා කරන හැටි බලන්න..
කැප්පෙටිපොල නිලමේ දෝත් මුදුන් දීලා වැඳලා පන්සිල් ගත්තා..
ඊට පස්සේ ඒ වෙනකොට උඩුකය වැහෙන්න ඇදගෙන හිටපු සළුව ගැලෙව්වා..
බෝගම්බර පිට්ටනියේ ඉදන් දළදා මාලිගාව පැත්තට හැරිලා නමස්කාර කළා..
"දැනට මම සතු එකම වස්තුව මේක විතරයි.. මේක දළදා හාමුදුරුවන්ට පුජා වේවා.." කියලා සළුව දළදා හාමුදුරුවන්ට පුජා කළා.
ඊට පස්සේ..
කැප්පෙටිපොල නිලමේ තුමා වධකයා ලගට ගියා..
රැස් වෙලා උන්නු හැමෝම බලා උන්නේ පුදුම වෙලා..
"දැන් මම කියන ගාථාවේ අන්තිම පදය ඉවර වෙනකොටම.. එක පාරින්.. මගේ හිස කඳින් වෙන් වෙන්නම කොටාපන්.."
කැප්පෙටිපොල නිලමේතුමා වධකයාට කිව්වා.
මඩුගල්ලේ නිලමේ නම් උන්නේ ටිකක් බය වෙලා..
"මොකටද බය වෙන්නේ මඩුගල්ලේ.. අපි රට වෙනුවෙන් මෙච්චර දෙයක් කලාට පස්සේ.. මෝඩයෙක් වගේ නෙවෙයි වීරයෙක් වගේ මරණයට මුණ දීපන්.." කැප්පෙටිපොල නිලමේතුමා මඩුගල්ලේ නිලමේ තුමාට කිව්වා.
ඊට පස්සේ දන්ගෙඩියට බෙල්ල තිබ්බා..
ධම්ම පදයේ ගාථාවක් මහා හයියෙන් සජ්ජායනා කළා..
ගාථාව ඉවර වෙනකොටම වධකයා කැප්පෙටිපොල නිලමේතුමාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා..
මේ වීරයා මරණයටවත් බය නැති හැටි දැකලා වධකයාගේත් අත් වෙවුලන්න ඇති..
ඒ කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ බෙල්ල කැපිලා වෙන් උනේ නෑ..
බාගේටයි කැපුනේ..
බාගෙට කැපුණු බෙල්ලෙන් දෙවුර දිගේ ගලන ලේ දහරා එක්කම
කැප්පෙටිපොල නිලමේ තුමා ආයෙත් ඔලුව ඉස්සුවා..
"වධකය" නිලමේ තුමා වධකයාට කතා කළා.. ඒ කටහඩේ කෙන්තියක්වත්, බයක්වත් වේදනාවක්වත් නෑ.
"බෙල්ලේ මෙන්න මෙතනට කොටාපන්.."
මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා තමන්ගේම අතින් තමන්ගේ බෙල්ල කපන්න ඕනේ තැන පෙන්නලා කියා දුන්නා..
බෝගම්බර පිට්ටනියේ වට වෙලා බලා උන්නු සුද්දන්ට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති..
වධකයා දෙවෙනි පාර ගහපු කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස කඳින් වෙන් උනා.
මෙහෙමත් නිර්භීත කමක්..!
ඉංග්‍රීසි නිලධාරීන්ට හිතා ගන්න බැරි උනා..
ඒ නිසා..
කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස් කබල අරන් මතක සටහනක් විදිහට සංරක්ෂණය කළා..
මේ තියෙන්නේ ඒ හිස් කබල..
මම මේ පොස්ටුවට හිස් කබලේ පින්තුරේ දැම්මේ
හොල්මන් කතාවක් ආදර කතාවක් කියවන තරම් උනන්දුවක්
අපේ ඇත්තන්ට අපේ අභිමානයක් ගැන කියවන්න ඇත්තේ නැති නිසා..
ඔන්න තව පින්තුර ටිකකුත් දාන්නම් කොමෙන්ටු වලට..
අපේ වීරයෝ ගැන කතා අහන්ට ඕන නම් කියන්ටකො..

Sunday, November 25, 2018

රටක් නිහඩ කරවන විභාගයක්


හැම අවුරුද්දකම නොවැම්බර් මාසය තුළ දකුණු කොරියාවේ පාසැල් දරුවන්ට වැදගත් දිනයක් එළඹෙයි. එය විභාග දිනයකි. එහෙත් එය සාමාන්‍ය විභාගයක් නම් නොවේ.
දකුණු කොරියාව පුරා උසස් විද්‍යාල සිසු සිසුවියන් මිලියන බාගයක් පමණ වාර්ශිකව මුහුණ දෙන ඉතා අසීරු විභාගයකි. විභාගයේ නම සුනෙයුන්ග් නැතහොත් CSAT (College Scholastic Ability Test) ය.
මේ විභාගය පැය අටක් දීර්ගය. ඒ කාලය තුල කිසිදු විවේකයක් නැතිව එක දිගටම කොරියානු භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, සමාජ අධ්‍යයනය, ඉතිහාසය හා විද්‍යාව පිළිබදව අතිශය අසීරු ප්‍රශ්ණ පත්තර වැලකට පිළිතුරු සැපයීමට දකුණු කොරියානු උසස් විද්‍යාල සිසුන්ට සිදු වෙයි.
මේ විභාගය අත් හරින්නට කිසිදු දකුණු කොරියානු සිසුවෙකුට නොහැකිය. ඔවුන්ව තෝරා ගැනෙන්නේ කුමන විශ්ව විද්‍යාලයටද, ඔවුන්ගේ වෘත්තීය අනාගතය කෙබදු වේද, ඔවුන්ගේ ආදායම, ඔවුන්ගේ ජීවන තත්වය පමණක් නොව ඔවුන්ගේ විවාහය පවා තීරණය වෙන්නේ මේ විභාගයට මූණ දෙන අන්දමට අනුවය.
එය එතරම්ම වැදගත් හා අසීරු විභාගයක් වන බැවින් විභාගයට මුහුණ දෙන සිසුන්ට සියලු ආකාරයේ පහසුකම් සලසා තබන්නට දකුණු කොරියානු බලධාරීහු සැලකිලිමත් වෙති. එනිසා එම දිනයේදී මුලු මහත් ජාතියම ප්‍රමුඛත්වය දෙන්නේ මේ විභාගයටය.
ඒ විභාගය දිනයට දකුණු කොරියාවේ සියළුම කාර්යාල වල හා වැඩබිම් වල වැඩ ඇරඹෙන්නේ පැයක් ප්‍රමාද වීය. එසේ කරනුයේ විභාගයට සහභාගි වන සිසුන්ට රථවාහන තදබදයට හසු නොවී විභාග මධ්‍යස්ථානයට යන්නට පහසු වනු පිණිසය. ඇතැම් තැන් වලදී පොලිස් නිලධාරීන්ම සිසු දරුවන්ව ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන වලට කැදවාගෙන යනු දැකිය හැකිය. කඩ සාප්පු, බැංකු පමණක් නොව කොටස් වෙලද පොල පවා එදිනට ඇරඹෙන්නේ විභාගය පටන් ගන්නා වෙලාව පසු වූ පසුවය.
විභාගයේ සවන් දීමේ පරික්ෂණය පැවැත්වෙන වෙලාවට දකුණු කොරියානු ගුවන්තොටුපොලේ ගුවන් යානා ගොඩබෑම හෝ ගුවන්ගත කිරීම පවා තාවකාලිකව අත් හිටුවයි. ඒ ගුවන්තොටුපොල අසල විභාග මධ්‍යස්ථාන වල විභාගය ලියන සිසුන්ට බාධාවීම වැලැක්වීමටය.
එය මුළු මහත් රටම නිහඩ වන දිනයකි.
එදින උදෑසන සිසු දරුවන් විභාගයට යද්දී, ඔවුන්ට වඩා පහල පන්ති වල දරුවන්, ගුරුවරුන් සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් විභාග ශාලාවට යන මග දෙපස රැස්වී විභාගයට යන්නන්ට ආශිර්වාද ගීතිකා ගයති. තෑගි ලෙසින් චොකලට් හා සුබ පැතුම් පණිවිඩ ලබා දෙති.
විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ දෙමාපියෝ විභාග ආතතිය නිසාම තම දරුවන්ගේ ඡායාරූපද අතැතිව පන්සල් හා පල්ලි වලට රොක් වී ඔවුන්ට විභාගයෙන් ජයග්‍රහණය ලබා දෙන්නැයි විභාගය ඉවර වෙන තුරුම යාඥා කරති.
CSAT විභාගය නිසා කොරියානු සිසු දරුවන්ට ඇති වන මානසික පීඩනයද අතිමහත්ය. ඒ පීඩනය දරා ගන්නට බැරිව සිය දිවි නසා ගන්නා සිසුන් ගැන අසන්නට ලැබෙන අවස්ථාද නැතුවා නොවේ.
“පෙරහුරු විභාග වලදී හොදින් පිලිතුරු දෙන සිසුන් පවා අධික නොසන්සුන් බව  හා බය නිසාම සැබෑ විභාගයේදී අසාර්ථක වෙනවා.. මේ රටේ හොද පිලිගත් විශ්ව විද්‍යාල තියෙන්නෙ අතලොස්සක්. ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්න තේරෙනවා කියන සම්භාවිතාව හරියට මිනිහෙකුට අකුණු සැර වදින්න තියෙන සම්භාවිතාවට සමානයි කියලා මට නම් හිතෙන්නේ..” ඒ හැන්ග් ජේ ක්යුන්ග් නම් සිසුවාගේ අදහසයි.
හොද විශ්ව විද්‍යාල වලට ඇතුලු වීමට ඇති තරගය තියුණුය. එනිසාම සිසුන් මේ විභාගයට කිහිප වරක්ම පෙනී සිටිමින් උත්සාහ කරති. මෙය එක් අතකට ඒ සිසුන් ලැජ්ජාවට පත් වෙන්නටද කාරණයකි. විභාගය පළමු වරදීම සමත් වෙන්නට තරම් ඒ් සිසුන්ගේ බුද්ධි මට්ටම ප්‍රමාණවත් නොවන බව පෙන්නුම් කෙරෙන කාරණයකි.
මේ සිසුන්ට ඔවුන්ගේ දෙමාපියන් වෙතින්ද දරාගත නොහැකි තරමේ පීඩනයක් එල්ල වෙයි. සමාජයෙන් එල්ල වන පීඩනයත්, දෙමාපියන්ගේ බලපෑමත් නිසා සිසුන් වසරින් වසර වැඩි වැඩියෙන් සියදිවි නසාගැනීම් කෙරේ නැඹුරු වෙමින් සිටිති.
මේ විභාගයට සූදානම් වීමත් ලේසි පාසු කර්තව්‍යයක් නොවේ.
“හවස හයේ ඉදන් රෑ දහය වෙනකල්ම අපිට පාඩම් කිරීමේ වැඩමුළු තියෙනවා. එදා දවසේ අපි ඉගෙන ගත්ත දේ නැවත අධ්‍යනය කරලා ඊලග දවසේ පාඩම් ගැන පූර්ව දැනුමක් ලබා ගැනීම තමයි මේ වැඩමුලු වලදී කෙරෙන්නෙ..” ලී යොන්ග් සූ පවසයි. “සති අන්ත වලදී අපිට ටියුෂන් පන්ති තියෙනවා. සමහර අයට දවසකට ටියුෂන් පන්ති පහක් හයක් විතර තියෙනවා.. ටියුෂන් පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන රෑ දහයට වහලා දාන්න ඕන කියලා රජයෙන්ම නීතියක් පැනවුණා. ඒත් ගොඩක් අය ඒ් නීතිය පිළිපදිින්නෙ නෑ. පිටතින් දොරවල් වහලා පන්ති ඇතුලත ඉදන් රෑ දෙක වෙනකල් පන්ති පැවැත්වීම සාමාන්‍ය දෙයක්..”
“මට දැනෙන්නෙ අපේ දකුණු කොරියානුවන්ට බෝවෙන රෝගයක් තියෙනවා වගෙයි.. ඒ රෝගයෙ නම “කාර්යබහුල වීමේ රෝගය”.. සිසු සිසුවියන් නිතරම තමන්ගෙ පාඩම් වැඩ නිසා කාර්යබහුලයි. පාඩම් කිරීම ඇරෙන්න වෙන ජීවිතයක් ඒ අයට ඇත්තෙම නැති තරම්.. අපේ ඉස්කෝල අපිට හිරගෙවල් බවට පත් වෙලා.. අපේ වැඩිහිටියන්ගෙ ජීවිතත් කිසි  වෙනසක් නෑ.. අපේ ජීවිත පාඩම් වැඩ වලින් ආක්‍රමණය කරලා.. අපේ වැඩිහිටියන්ගෙ ජීවිත “රස්සාවල්” වලින් ආක්‍රමණය කරලා..”
ඒ පොදුවේ දකුනු කොරියානු තරුණ පරම්පරාවේ වර්තමාන කතාවයි.
නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින
25.11.2018