Saturday, November 24, 2018

දියවන්නාවේ සැගවුණ කුමරිය

මේකත් ආදර කතාවක් තමයි...
ඒත්...
හතුරන්ගෙ කුමන්ත්‍රනයක් නිසා
වැව් පතුලක ගිලිලා..
රටේ ඉරණමත් අදුරකට හරවන්ට හේතු වෙච්චි නපුරු කතාවක්...
ඒ කාලෙ රටේ රජ කම් කලේ විජයබාහු රජතුමාගෙ පුත්තු තුන් දෙනා...
සීතාවක රාජධානියේ මායාදුන්නෙ රජතුමා..
කෝට්ටෙ උන්නෙ බුවනෙකබාහු රජතුමා...
රයිගම රයිගම් බන්ඩාර රජතුමා..
මේ අයිය මලෝ රාජධානි තුන පාලනය කලේ සමගියෙන් හෙම නෙවෙයි..
ඔය තුන් දෙනාගෙන් නාහෙට අහන්නෙ නැති දඩබ්බරය මායාදුන්නෙ රජතුමා...
කෝට්ටෙ රාජධානියත් තමුන්ගෙ රාජධානියටම එක්කහු කරගන්ට මාන බල බලා තමයි උන්නෙ..
බුවනෙකබාහු අයියන්ඩි උනත් මායාදුන්නෙ මලයන්ඩිට බයෙන් උන්නෙ..
ඔය කාලෙදි පරංගින්ගෙ කරදර වලිනුත් මදි පාඩුවක් තිබ්බෙ නෑ..
මායාදුන්නෙ රජතුමා පරංගින්ටත් නොසෑහෙන්ට බැට දුන්න නෙව...
බුවනෙකබාහු රජතුමා ඒ වෙනකොට වයසයි...
වයසයි කියල කෝට්ටෙ රජකම බාර දෙන්ට පුත් කුමාරයෙක් උන්නෙත් නෑ...
උන්නෙ දූ කුමාරියෙක්..
හැබැයි රන් රුවක් වාගෙ ලස්සන දූ කුමාරියෙක්...
ඒ කුමාරිගෙ නම සමුද්‍රදේවි...
එතකොට කෝට්ටෙ රජ කම අයිති වෙන්නෙ සමුද්‍රදේවිව කරකාර බැදගන්න කුමාරයට. .
ඉතින්
බුවනෙකබාහු රජතුමාට ඕන කරල තිබුනෙ යුද්දෙට හපන් කුමාරයෙකුට සමුද්‍රදේවිව විවාහ කරල දෙන්ට..
එතකොට කෝට්ටෙ රාජධානියෙ පරිස්සමත් හොදයිනෙ...
ඉතින් රජතුමා තීන්දු කරගත්තා "ජය බණ්ඩාර" කියල හටන් ශිල්පෙට දක්ෂ කුමාරයෙකුට සමුද්‍රදේවි කුමාරිව බන්දලා දෙන්ට...
ජය බණ්ඩාර කුමාරය කොච්චර දක්ෂ හටන් සූරයෙක් උනත්, කොංච්චර වංශවත් කුමාරයෙක් උනත් සමුද්‍රදේවි කුමරියගෙ හිතේ ජය බණ්ඩාර කුමාරය ගැන මනාපයක් තිබුනෙ නෑ...
ඒ මොකද දන්නවද...
සමුද්‍රදේවි කුමාරි ආලවන්ත වෙලා උන්නෙ වෙන කුමාරයෙකුට...
ඒ කුමාරයා තමයි අර කලින් කතාවෙදි කියාපු වීදිය බන්ඩාර කුමාරයා..
"කෝට්ටේ ව්‍යාග්‍රයා"...
වීදිය බන්ඩාර කුමාරයා ගැන හරි අපූරු කතා ටිකක් පස්සෙ කියන්නංකො...
ඉතිං.....
වීදිය බන්ඩාර කුමාරයටත් දැන ගන්ට ලැබුන සමුද්‍රදේවිව වෙන කුමාරයෙකුට තීන්දු කරල කියල...
වීදිය බණ්ඩාර කුමාරය ගියා ජය බණ්ඩාර කුමාරය මුණ ගැහෙන්ට...
ජය බණ්ඩාර කුමාරය කැමති උනේ නෑ සමුද්‍රා කුමරියව නොබැද ඉන්ට...
ඉතිං වීදිය බන්ඩාර කුමාරය ජය බන්ඩාර කුමාරයත් එක්ක ද්වන්ද සටනක් කරල ජය බණ්ඩාර කුමාරයව මරල දැම්ම...
ඊට පස්සෙ රාජධානියෙන් පැනල ගියා...
දැන් ඉතිං මක් කරන්ටද...
බුවනෙකබාහු රජතුමා වීදිය බණ්ඩාර කුමාරයව ගෙන්නල සමුද්‍රදේවිව බන්දල දෙනව...
ඔන්න ඔය වෙලාවෙ තමයි පරංගින්ට දෙලොව රත් වෙන්නෙ...
සීතාවක ඉන්න මායා දුන්නෙ රජතුමත් පරංගින්ට බොහොම හතුරුයි..
මායාදුන්නෙ රජතුමාගෙන් පස්සෙ රජකමට එන ටිකිරි බණ්ඩාර කුමාරය ඊටත් වඩා දරුණුයි...
කොරේ පිටට මරේ කියල දැන් කෝට්ටෙ රාජධානියට වීදිය බන්ඩාර කුමාරය රජවුණොත් සීතාවකින් වගේම කෝට්ටෙනුත් පරංගින්ට හොදට බැට කන්ට වෙනව...
ඇයි වීදිය බණ්ඩාර කුමාරයත් පරංගින්ට හොදටෝම හතුරුයි නෙව... ටිකිරි කුමාරය වගේම හොද යුද්ද හපනෙක් නෙව....
මේ දෙන්නත් එක්කම යුද්ද කරල නං මේ කපේදි ලංකාව අල්ලගන්ට බැරි වෙනව...
ඒ හින්ද පරංගි කපටි උප්පරවැට්ටියක් යොදනව....
ඔය කාලෙ බුවනෙකබාහු රජතුමාට හිතවත් පරංගි සෙනවියෙක් උන්නා.
දියෝගෝ ද අරවේජෝ කියල..
මේ පරංගි සෙනවියා රජමාලිගාවටත් ආව ගියා...
පරංගි තමුන්ගෙ උප්පරවැට්ටිය කරන්නෙ මෙන්න මේ සෙනවිය දම්මල...
වීදිය බණ්ඩාර කුමාරය හටන් වලට පිට පලාත් වලට ගියාම මේ පරංගි සෙනවියා නිතර නිතර මාලිගාවට එන්ට පටන් ගත්තා..
මාලිගාවෙ උන්නු සමුද්‍රදේවි කුමාරිට ඕන නැති විහිලු තහලු කරන්ටත් පටන් ගත්තා..
සමුද්‍රා කුමාරි මේකට කොහොමටවත් කැමති උනේ නෑ....
ඒත් දියෝගෝ සෙනවියා රට්ටුන්ට දැනගන්ට සැලැස්සුවෙ සමුද්‍රදේවි තමන්ට මනාපයි කියල...
රජ ගෙදරට ඇවිත් යනකොට දියෝගෝ සෙනවියා මාලිගාවෙ උන්නු සේවකයන්ට කියන්නෙ "මං මේ සමුද්‍රා කුමාරි මුණ ගැහිල යන ගමන්" කියල..
ඒ මදිවට තමන්ට හිතවත් මිනිස්සු කීප දෙනෙකුත් දම්මලා කට කතාත් පැතිරෙව්ව...
දියෝගෝ සෙනවියයි සමුද්‍රා කුමාරියි අතරෙ අනියම් සම්බන්ධයක් තියනව කියල...
මේ කට කතාව දුර දිගට ගිහිං වීදිය බණ්ඩාර කුමාරයගෙ කණටත් වැටෙනව...
වීදිය බණ්ඩාර කුමාරයා කුකුල් කේන්ති කාරයා.. කේන්ති ගියාම දුර දිග බලන්නෙත් නෑ...
කුමාරය මාලිගාවට යන්නෙ ඉහවහා ගිය කේන්තියෙන් ..
කෝට්ටෙ මාලිගාව කිට්ටුවයි ඔය දියවන්නා ජලාශෙ තියෙන්නෙ. ..
"මට කුමරියත් එක්ක කතා කරන්ට ඕන" කියල වීදිය බණ්ඩාර කුමාරය සමුද්‍රදේවිව එක්කගෙන යනව දියවන්නාවෙ ඉවුරට...
"මොකක්ද අර පරංගි හේවායත් එක්ක තියෙන පයුරු පාසානම..?" කියල වීදිය බණ්ඩාර කුමාරය ගුගුරනව....
"ඒක බොරු කටකතාවක් කුමාරයානෙනි..." කියලා සමුද්‍රා දේවි දිවුරුවත් වීදිය බණ්ඩාර කුමාරයා ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ..
"පරංගින්ව විතරක් නෙවෙයි උන් එක්ක ඇයි හොදයි කම් තියෙන උන්වත් මට පේන්ට බෑ" කියල
වීදිය බණ්ඩාර කුමාරයා සමුද්‍රාදේවිව මරලා දියවන්නාවට දානව...
කුමාරය ඇත්ත දැන ගන්නකොටත් ගොඩක් පරක්කු වැඩියි...
අහිංසක සමුද්‍රදේවිව මරා දාපු හන්ද බුවනෙකබාහු රජතුමා වීදිය බන්ඩාර කුමාරයට හතුරු වෙනව...
වීදිය බණ්ඩාර කුමාරයට කෝට්ටේ රාජධානිය අත් ඇරල පැනල යන්ට සිද්ද වුණා...
අහිංසක සමුද්‍රදේවිගෙ හුස්ම ටික දියවන්නාවෙ පතුලෙ හැංගුනා වගේම
අපේ රට පර හතුරන්ගෙන් බේරගන්ට තිබිච්ච එක මාර්ගෙකුත් එහෙම්ම වැහිලා ගියා..

No comments:

Post a Comment