Sunday, December 9, 2018

දෙවියන්ගෙ දියණිය ---------------------------------


කිසිවෙකු නිවසේ දොරට තට්ටු කරන හඩ ඇසිණ. ස්ටෙෆානියාගේ සිරුරම බියෙන් කිලිපොලා ගියේය. නිවසේ සිටින්නේ ස්ටෙෆානියාත් ඇගේ අට හැවිරිදි නංගි හෙලේනාත් පමණකි. ඔවුන්ට වෙනත් කිසිවෙකු නැත. තාත්තා යුද්ධයේදී මිය ගොසිනි. අම්මාවත් අයියාවත් කම්කරුවන් ලෙස සේවය කිරීම පිණිස ජර්මනියෙන් නෙරපා දමා තිබිණ.
එසේ වහල් සේවයට රටින් නෙරපා දමා තිබුණේ ස්ටෙෆානියාගේ අම්මාත් අයියාත් පමණක් නොවේ. නැගෙනහිර පෝලන්තයේ දහස් ගණන් වැසියෝ බලහත්කාරයෙන් වැඩ ගැනීම පිණිස හිට්ලර් විසින් ජර්මනියට පන්නා දමා තිබිණ.
1942 වසරයි. ඒ වන විට නැගෙනහිර පෝලන්තය හිට්ලර්ගේ කුරිරු පාලනය නතුවී අවුරුදු තුනක් ගත වී තිබිණ. ස්ටෙෆානියාගේ උපන් නගරය වූ ප්‍රෙමිස්ල් නගරය ඒ වන විට රුසියාව බලා යමින් උන් ගැස්ටාපෝ නියෝජිතයින්ගෙන් සහ රුසියානු සොල්දාදුවන්ගෙන් පිරී පැවතිණ. ස්ටෙෆානියා වැඩට යන එන හැම විටකදීම ඒ නොහික්මුණු සොල්දාදුවන්ගේ අමුතු බැලුම් තමා වෙත යොමු වන බව ඇයට දැනී තිබිණ. එහෙත් ඒ කියා වැඩට නොයා සිටින්නට ඇයට නොහැකිය. ස්ටෙෆානියාත්, හෙලේනාත් යන්තමට හෝ දිවි රැකගන්නේ කුඩා කම්හලක යන්ත්‍ර ක්‍රියා කරවන්නියක ලෙස වැඩ කොට ස්ටෙෆානියා උපයා ගන්නා සොච්චම් වැටුපෙනි.
ඉතින් මේ දැන් දොරට තට්ටු කරන්නේ කවුද.? මග තොටදීි අමුතු බැලුම් හෙලමින් තමාව “ආරක්ෂා කරන්නට” ඉදිරිපත් වෙන තවත් රුසියානු සොල්දාදුවෙක්ද.?
ස්ටෙෆානියා බියෙන් ගැහෙමින් දොර ඇරියාය. එසැණින් ගෙට ඇතුළු වූ යමෙකු දොර වසා දොරට පිටදී හේත්තු වූයේය. ස්ටෙෆානියා බියෙන් ගල් ගැසුණාය. ඇය ඉදිරිපිට උන්නේ හිසේ සිට මඩත් කුණුත් තැවරුණු, තෙත් වැරහැලි ඇදගත් අසරණයෙකි.
“ස්ටෙෆී.. අනේ මට උදව් කරන්න..”
“ස්ටෙෆී”.. ඒ් ඇගේ හිතවත්ම මිතුරන් ඇය අමතන නමයි. ස්ටෙෆානියා උනන්දුවෙන් තමා ඉදිරිපිට සිටින අමුත්තා දෙස බැලුවාය. ඇයට ඔහු හදුනා ගන්නට හැකි විය. ඔහු ජෝසෆ්ය. ඔහු මේ නගරයේ උන් ධනවත් යුදෙව් පවුලක පුතෙකි. මීට මාස කීීපයකට පෙර නගරයේ උන් 20,000 කට අධික යුදෙව්වන් සංඛ්‍යාවක් නාසි හමුදාවන් විසින් නගරයෙන් පිටුවහල් කරන ලදී. ජෝසෆ්ගේ පවුලද ඒ අතර වීය. මේ නගරයෙන් පිටුවහල් වෙන්නට පෙර ඔවුන් තම නිවස බලාකියා ගන්නට පැවරුවේද ඔවුන්ගේ හිතවත්ම මිතුරියක වු ස්ටෙෆානියාටය.
“මට එක රැයක් මෙහේ ඉන්න ඉඩ දෙන්න ස්ටෙෆී..” ඇඩෙන්නට ආසන්න ස්වරයෙන් ජෝසෆ් ඉල්ලා සිටියේය. “එකම එක දවසක්.. මම හෙටම යනවා.. මම පොරොන්දු වෙන්නම්.. මං ඔයාව කරදරයක දාන්නෙ නෑ..” ඔහු බැගෑපත් වූයේය.
හිතේ නැගී එන බියට සිරුර අඩපණ කරවා දමන්නට ඉඩ නොදෙන්නට ඇය උත්සාහ කළාය. යුදෙව්වන්ට ආරක්ෂාව සපයන්නන්ට, හෝ උදව් කරන්නන්ට මරණීය දණ්ඩනය ලැබෙන බව ජර්මානු හමුදාව විසින් ප්‍රෙමිස්ල් නගරය පුරා අනතුරු ඇගවීම් කර තිබිණ.
ඉතින් තමන්ගේත් හෙලේනාගේත් ජීවිත අනතුරේ හෙලා ගන්නේ කොහොමද..?
ඒත් මිතුරෙකු මේ තරමටම අසරණව ඉදිද්දී අහක බලාගන්නේත් කොහොමද.?
ස්ටෙෆානියා මදක් සිතුවාය. මේ වෙලාවේ අම්මා හිටියා නම් කුමක් කරාවිද.? ස්ටෙෆානියාගේ අම්මා කැතරිනා දැඩි ආගම් භක්තියෙන් යුතු කාන්තාවක් වූවාය. ස්ටෙෆානියා පුංචි කාලයේ දිනක් තවත් ළමුන් රංචුවක් යුදෙව් දරුවෙකුට හිරිහැර කරනු දුටු ස්ටෙෆානියාගේ මව ඒ දරුවාව බේරා යන්නට හැරියාය.
“ස්ටෙෆී.. ඔයා නම් කවදාවත් කාටවත් හිරිහැර කරන්නෙ නැතිවෙයි කියල මං හිතනවා.. අපි හැමෝම එකම දෙවියන්ගෙ දරුවෝ..” එවෙලේ අම්මා ස්ටෙෆානියාට කීවාය.
අම්මා මතක් වී ස්ටෙෆානියාගේ දෑසට කදුළු පිරිණ. “ඔයා ජෝසෆ්ට පිහිට වෙන්න ඕන..” අම්මාගේ ආදරණීය කටහඩ තමන්ගේ කණට කොදුරන්නාක් මෙන් ඇයට ඇසිණ.
තැලී සීරී තුවාල වුණු ජෝසෆ්ගේ කම්මුලකට අත තබා ඇය කරුණාවෙන් කතා කළාය.
“ඔව් ජෝසෆ්.. ඔයා මෙහේ නවතින්න.. දවසක් නෙවෙයි.. ඔයාට සනීප වෙනකල් නවතින්න..”
ස්ටෙෆානියා ජෝසෆ්ට තේ පිළියෙල කරන අතර ජෝසෆ් සිදුවුණු දේ විස්තර කළේය.
නගරයේ ඉතිරිව සිටින සියලුම යුදෙව්වන් මරා දැමීම පිණිස වධ කදවුරු වලට යවන්නට නාසි හමුදාවන් විසින් තීරණය කර තිබිණ. එලෙසින් මරා දමන්නට තීන්දු වුණු යුදෙව්වන් අතර ජෝසෆ්ගේ පවුලේ අයද විය. යුදෙව් ජාතිකයින් සියල්ලන්ම සතුන් ගෙන යන බඩු දුම්රිය පෙට්ටි වලට ගාල් කරනු ලැබිණ. ජෝසෆ් හා ඔහුගේ සොහොයුරෙකු පවුලෙන් වෙන් කොට වෙනත් කෝච්චි පෙට්ටියක හිර කෙරිණ. දුම්රිය ඉදිරියට ඇදෙන්නට වූ විට ජෝසෆ් සිරකරුවන්ගේ ආරක්ෂාවට යොදා තිබුණු විදුලි වයරය සාක්කු පිහියකින් කපා දමා දුම්රියේ කවුළුවක් උඩට නැගගත්තේය. කවුළුවෙන් අසීරුවෙන් පිටතට රිංගාගෙන ඔහු වේගයෙන් ගමන් ගන්නා දුම්රියෙන් පිටතට පැන්නේය. දුම්රියෙන් පිටතට පැනීමෙන් ඇතිවුණු තුවාලත්, සිරුරේ තැවරුණු මඩත් කුණුත් ඇතිව ඔහු පැය ගණනක් සිහිසුන්ව වැතිර සිටින්නට ඇත. සිහිය ලද වහාම ඔහු කලේ රහස් මාර්ග ඔස්සේ වහන් වෙමින් ප්‍රෙම්ස්ල් නගරයට පැමිණීමය. “ඉතින් මට එන්න ඉතිරිවෙලා තිබුණ එකම තැන ඔයාලා ලගට විතරයි..” ජෝසෆ් ඔහුගේ දීර්ඝ කතාව නිම කළේ ස්ටෙෆානියා ගෙනවිත් දුන් සැන්ඩ්විච් පිගාන දෙස කෘතවේදීව බලමිනි.
ජෝසෆ් යන්තමින් හෝ සුවපත් වූයේ සති දෙකකටත් පසුවය. සුවවී නගරයට ගිය ඔහුට ඔහුගේ සොහොයුරු හෙනෙක් හා හෙනෙක්ගේ බිරිද හමුවිය. ඔවුන් උන්නේ හමුදාවන්ගෙන් සැගවෙමින් කුසගින්නෙන් බැටකමිනි. ජෝසෆ්ගේ පවුලේ හිතවතෙකු වූ දොස්තර විලියම්ද, ඔහුගේ දියණිය ජූඩිද, ඔවුන්ගේ මිතුරෙකු වන මහළු දන්ත වෛද්‍යවරයෙකුද මේ අසරණ තත්වයෙන්ම බියෙන් සැගවී සිටියහ. මේ අසරණයින් පිරිසට ආහාර සපයා ගන්නට නගරයේ ඇවිදින්නට හැකි වන අයුරින් ජෝසෆ්, නගරයේ අප්‍රසිද්ධ මුද්‍රණාලයකින් ව්‍යාජ හැදුණුම්පතක් සකසා ගත්තේය. දිනක් ඒ හැදුණුම්පතද ඔහු අතින් නැතිවී ගියේය. හැදුණුම්පතක් නැතිව නගරයේ ඇවිදින්නට හැකියාවක් නොවීය. ඒ නිසා සැගවී සිටින පිරිසට ආහාර සොයා ගන්නට මගක්ද නොවීය. දැන් ඉතින් ජෝසෆ්ට ඉතිරිව ඇති එකම පිහිට ස්ටෙෆානියා පමණකි. ඔහු නැවතත් ස්ටෙෆානියා සොයා ගියේය.
“ස්ටෙෆී.. අපි ටික දෙනෙකුට ඉන්න තැනක් හොයලා දෙන්න.. ඔයාගේ උදව් නැතිව අපිට ජීවත් වෙන්න විදිහක් නෑ..”
ස්ටෙෆානියා වික්ෂිප්ත වූවාය. තමාටත් පිළිසරණක් නැති මේ නපුරු නගරයේ අනුන් උදෙසා පිළිසරණ යදින්නට ඇය යන්නේ කා ලගටද.? ඔවුන්ට නවාතැන් දීමට ඇති එකම තැන තමාගේ මේ කුඩා නිවස පමණකි. එහෙත් ඒ කී කාලයකටද.? මේ යුද්ධය තව අවුරුදු දහයකටවත් නිම නොවනු ඇත. “කවුරුහරි දොරට තට්ටු කරන හැම වෙලාවකම මං කොහොමද එයාලව ඇද යටට යවන්නෙ..? අනිත් එක කී දෙනෙක්ද..?” ස්ටෙෆානියා තනිවම සිතුවාය.
“අපි හැමෝටම ඉන්න පුළුවන් ගෙදරක් කුළියට ගමු..” ජෝසෆ් යෝජනා කළේය. ඔවුන්ට නවාතැන් දුන්නොත් තමාටත් නැගණියටත් ඔවුන් සමගම නාසි හමුදාවන් අතින් මැරුම් කන්නට සිදුවනු ඇති බව ඇය හොදාකාරවම දැන උන්නාය. එහෙත් මේ අසරණයින්ව ප්‍රතික්ෂේප කොට, ඔවුන්ට කුසගින්නේ මිය යන්නට ඉඩ හැර සියදහස් වාරයක් හදවතින් මිය යන්නේ කෙසේද.?
“අපි ඒ වගේ ගෙයක් හොයා ගමු..” ස්ටෙෆානියා එකග වූවාය.
සතියක පමණ උත්සාහයෙන් පසුව එබදු නිවසක් ඇයට මුණ ගැසිණ. නිදන කාමර දෙකක්, කුස්සියක් හා අටුවක් සහිත ටාටරස්කා වීදියේ පැරණි කුඩා නිවසක් ඇය කුළියට ගත්තාය. අනතුරුව ජෝසෆ් හා එක්වී එම නිවස පිරිසිදු කොට, පිටත සිටින්නෙකුට නිවසෙහි ඇතුලත නොපෙනෙන පරිද්දෙන් අදුරු තිර දැමුවාය.
මේ වැඩකටයුතු නිමවූ වහාම සැගවී සිටින්නන්ගේ පැමිණීම ආරම්භ විය. පළමුවෙන් ජෝසෆ් සහ දන්ත වෛද්‍යවරයාගේ පුතා නිවසට පැමිණියහ. අනතුරුව දොස්තර ෂයිලෙන්ජර් සහ ඔහුගේ දියණියත්, මහළු දන්ත වෛද්‍යවරයාත් පැමිණියහ.
නගරයේ සැගවෙමින් සිටි දන්ත වෛද්‍යවරයාගේ මිතුරියක මේ අතරමැදට කඩා පැන්නාය. තමාටත් තම දරුවන් දෙදෙනාටත් නවාතැන් නොදෙන්නේ නම් මේ රහස් නවාතැන පිළිබද ඔත්තුව නාසි හමුදාවන්ට ලබා දෙන බව කියමින් ඇය තර්ජනය කළාය. ස්ටෙෆානියා මහත් අකමැත්තෙන් නමුදු ඇයවද බාර ගත්තාය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයාගේ ඉල්ලීම වූයේ තමන්ගේ දුවණිය හා බෑණන්ඩියවත් මේ නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. ස්ටෙෆානියා එයද ප්‍රතික්ෂේප කළේ නැත. ඉන්පසුව හෙනෙක් හා ධනුතාද පැමිණියහ. නගරයේ උන් යුදෙව් ජාතික තැපැල් කරුවාද මේ කණ්ඩායමටම එක් වූයේය. මෙසේ සැගව සිටින යුදෙව්වන්ගේ සංඛ්‍යාව දහතුන දක්වා ඉහල නැංගේය. නගරයේ සිටින අන්තිම යුදෙව්වා දක්වා මරණ කදවුරු වෙත යවන්නට නාසි හමුදා ක්‍රියා කරන බව කියැවෙන ආරංචි වරින් වර ස්ටෙෆානියාට අසන්නට ලැබුණේ මේ අතරතුරය.
ස්ටෙෆානියා විසින් වරින් වර ගෙනෙන තහඩු උපයෝගී කරගෙන ජෝසෆ් විසින් ඉතා දක්ෂ ලෙස අටුවෙහි දහතුන් දෙනෙකුට සැගවී සිටින්නට ප්‍රමාණවත් තරම් ඉඩක් සහිතව බිත්තියක් බැන්දේය. මේ කාර්යය නිමවූ දිනට පසු දිනම ස්ටෙෆානියා අසුභ පුවතක් රැගෙන ගෙදර ආවාය.
“නාසි හමුදා භටයෙක් එහා ගෙදර ඉන්නවා..”
එතැන් සිට අල්පෙනෙත්තක් බිම වැටෙන හඩක්වත් නංවන්නට කිසිවෙකු බිය විය. නින්දෙන් ගොරවන ශබ්ද පවා වලකන්නට එක් එක් රාත්‍රීන් වල අවදිව සිටින්නට එක් එක් අයට පැවරිණ. කිසිවෙකු නින්දෙන් ගොරවන හැම වාරයකම අවදිව මුර කරන්නා විසින් ගොරවන තැනැත්තාව නිහඩ කරවන ලදී.
ස්ටෙෆානියාගේ මිතුරන් ඇයව දකින්නට පැමිණීමද ගැටළුවක් විය. ඇයව මුණ ගැහෙන්නට යම් කිසිවෙකු පැමිණෙන හැම අවස්ථාවකදීම කුමක් හෝ කියා ඒ අමුත්තාව ඉක්මනින් පිටත් කිරීමට ස්ටෙෆානියා කටයුතු කළාය. මෙවන් අවස්ථාවලදී බරපතලම කරදරය සිදුවූයේ ස්ටෙෆානියාට ආදරය ප්‍රකාශ කරමින් ඇය පසුපස ආ තරුණ ගැටයාගෙනි. ඔහු බොරු හේතු මවමින් ඉක්මනින් එළවා ගත හැකි කෙනෙකු නොවීය. එහෙත් එක් දිනක් ඔහු එන විට මහළු දන්ත වෛද්‍යවරයා නවත්වා ගත නොහැකි තරම් තද කැස්සකින් පෙලෙමින් උන්නේය. තරුණයා යන තුරු දන්ත වෛද්‍යවරයා කැස්ස නවත්වාගෙන උන්නේ වෑයමිනි. ඔහු ගිය පසු ස්ටෙෆානියා කළේ නගරයේ උන් කඩවසම් ජර්මන් සොල්දාදුවෙකුගේ පින්තූරයක් සාලයේ එල්ලා ගැනීමය.
“කවුද ඒ..?” ඊලග දිනයේ පැමිණි තරුණයා ස්ටෙෆානියාගෙන් ඇසුවේය. “ඒ මම බදින්න ඉන්න කෙනා..” ස්ටෙෆානියා උත්තර දුන්නාය. ඉන්පසු ඒ තරුණයාගේ පැමිණීම එහෙම පිටින්ම නතර විය.
සති දෙක තුනක් යද්දී ඔවුන් අත වූ මුදල් සීග්‍රයෙන් ඉවර වී යමින් පැවතිණ. කුසගින්න නිවස තුළට රිංගා ගත්තේය.
මුදල් සොයන්නට නිවසින් පිටතට යා හැක්කේ ස්ටෙෆානියාට පමණකි. කුඩා කම්හලක, කම්කරු රැකියාවක් කරන යුවතියක් දහතුන් දෙනෙකුගෙන් යුතු පිරිසක් පෝෂණය කරන්නේ කෙසේද.? පරිසරයේ වූ අධික ශීතල මකා ගන්නට පොරෝනාවක් ගන්නට හෝ සෑහෙන මුදලක් ස්ටෙෆානියා අත නොවීය. ඒ නිසා දිනක් කම්හලේ දහවල් කෑම පැයේදී ස්ටෙෆානියා වූල් පොරෝනාවක් ගොතන්නට වූවාය. ඒ දුටු එක් පුද්ගලයෙක් තමාට මුදලට පොරෝනාවක් ගොතා දෙන්නට හැකිදැයි ඇගෙන් ඇසුවේය. ස්ටෙෆානියා සතුටින් ඒ කාර්යය භාරගත්තාය.
කල් යත්ම ස්ටෙෆානියා අතින් ගෙතෙන පොරෝනා වලට හොද ඉල්ලුමක් ලැබෙන්නට විය. ටාටරස්කා වීදියේ නිවසේ සියල්ලෝම දිවා රෑ නොබලා පොරෝනා ගොතන්නට වූහ. පොරෝනා වල උසස් තත්වයෙන් සෑහීමට පත් වෙන ගැණුම්කරුවන්ගේ අවධානය ස්ටෙෆානියා අතින් අලෙවි වන අසාමාන්‍ය පොරෝනා සංඛ්‍යාව ගැන යොමු නොවීය.
1943 වර්ෂයද එළඹිණ. ජර්මානුවන් යුද්ධයෙන් පැරදෙමින් සිටින බවට කට කතා පැතිරෙන්නට විය. එහෙත් ඕනවට වඩා සුභවාදී බලාපොරොත්තු තබා නොගන්නට ජෝසෆ් වගබලා ගත්තේය. “ජර්මානු හමුදා තාමත් නගරයේ ඉන්නවා.. පැරදෙන නිසා ඒ ගොල්ලෝ දරුණු වෙනවත් වැඩියි..”
දිනක් උදෑසන ස්ටෙෆානියා රැකියාවට යන්නට පිටත් වූවාය. පොලිස් සයිරන් නලා හඩක් ඇසිණ. නිවස් කිහිපයකට එහායින් වූ නිවෙසක් නාසි හමුදාව විසින් වට කරන ලදී.. අනතුරුව ඔවුහු බියෙන් ගැහෙමින් උන් යුදෙව්වන් කිහිප දෙනෙකු හා යුදෙව්වන්ට ආරක්ෂාව සැපයූ පවුලේ අයද වැටලූ ගෙයින් එළියට ඇදගත්හ. ස්ටෙෆානියා සිටි තැනම ගල් ගැසුණාය. නාසි හමුදා භටයින්ගේ තුවක්කු වලින් නික්මුණු වෙඩි හඩට ත්‍රාසයෙන් ඇළලෙමින් සවන් දුන්නාය. මාවත තෙත් කරමින් ගලා යන ලේ දහරා දෙස මොහොතක් භීතියෙන් බලා උන් ඈ ආපසු හැරී නිවසට දිව්වාය. ඊලග සති කිහිපය තුළදී ඇයට කෑමට හෝ නිදාගැනීමට නොහැකි විය. තමන්ගේ තීරණයකින් හෙලේනාගේ ජිවිතයත් අනතුරේ හෙලන්නේ කෙසේද.?
තමන්ට තව දුරටත් ඔවුන්ට රැකවරණ සලසන්නට නොහැකි බව කියන්නට එක් දිනක් ඇය ජෝසෆ්ව සොයා කාමරයෙන් එළියට ආවාය. ජෝසෆ් හා අනෙක් තරුණයා උන්නේ හෙලේනාත් සමග සෙල්ලම් කරමිනි. ස්ටෙෆානියා මද වෙලාවක් ඔවුන්ගේ සෙල්ලම දෙස බලා උන්නාය. මෙතුවක් කල් තමාත් හෙලේනාත් හුදෙකලාව ගෙවූ දිවියට ලැබුණේ මොන තරම් වෙනසක්ද.? හෙලේනාගේ දෙනෙක් ප්‍රීතියෙන් බබලනු ස්ටෙෆානියා දුටුවාය.
“මේක තමයි මගේ පවුල.. මට මගේ පවුලෙ අයව පාවලා දෙන්න බෑ..” ස්ටෙෆානියා තීරණය කළාය.
මාස කීපයක් ගෙවිණ. මද වැසි සහිත එක උදෑසනක හෙලේනා හදිසියේම ස්ටෙෆානියා වෙතට දිව ආවාය.
“ජර්මන් හමුදාව එනවා..”
යුදෙව්වෝ වහ වහා අටුවට නැග නිසොල්මන් වූහ. ස්ටෙෆානියා ගොස් දොර හැරියාය. නිවසින් ඉවත් වෙන්නට ඔවුන්ට පැය දෙකක් කල් දෙන බව බුම්මා ගත් මුහුණින් යුතු හමුදා නිලධාරියෙක් කියා සිටියේය.
“ඇයි..? අපි මොනවද කළේ..?” ස්ටෙෆානියා ඇසුවාය.
“මේ වීදියේ හමුදා රෝහලක් පිහිටුවන්නයි යන්නෙ.. අපේ හෙද නිවාස වලට අපිට මේ ගෙදර ඕන..” එය අණදීමකි.
“ඔයයි හෙලේනායි දැන්මම කොහේ හරි යන්න..” හමුදා නිලධාරීන් පිටව ගිය විට ජෝසෆ් ස්ටෙෆානියාට කීවේය.
“එතකොට ඔයාලා..?”
“සටන් කරලා මැරෙනවා..” ජෝසෆ් පිළිතුරු දුන්නේය.
“අපි මෙච්චර දවසක් හිටියෙ එකටනෙ.. සටන් කරන එකත් එකටම කරමු..” ස්ටෙෆානියා යාඥා කරන්නට මරිය මව්තුමියගේ පින්තූරය ඉදිරිපිට දණ ගසා ගත්තාය. තමන්ගේ විශ්වාසය තමන්ට පිටු නොපාන බව ඇය දැන උන්නාය.
“බය වෙන්න එපා.. ගෙදර අත් ඇරලා යන්නත් එපා.. දහතුන්දෙනාව උඩ තට්ටුවට යවලා ජනේල අරින්න.. ගේ අස්පස් කරන්න.. සතුටින් ඉන්න..” කවුදෝ කාරුණික හඩකින් ඇගේ දෙසවනට මුමුණනු ඇසිණ.
“මං ඔයාලව අත් ඇරලා යන්නේ නෑ.. හැම දේම හොදින් සිද්ධ වෙයි.. ඔයාලා උඩ තට්ටුවට යන්න..” ස්ටෙෆානියා යුදෙව්වන්ට දැනුම් දුන්නාය.
අනතුරුව ඇය කවුලු විවෘත කොට දමා නිවස පිරිසිදු කරන්නට පටන් ගත්තාය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ජර්මානු හමුදා භටයා නැවතත් පෙනී සිටියේය.
“ගෙදර අත් ඇරලා යන්න ඕන නෑ..” ඔහු කීවේය. “අපිට ඕන එක නිදන කාමරයක් විතරයි.. අපේ හෙදියො දෙන්නෙකුට..”
මෙය කබලෙන් ලිපට වැටීමක්ද.? ජර්මන් හෙදියන් දෙදෙනෙකු සිටින නිවසක් තුළ යුදෙව්වන් දහතුන් දෙනෙකු සගවා තබා ගන්නේ කෙසේද..?
“ඒ ගොල්ලො ඉන්න වෙලාවට කිසි කෙනෙක් කිසිම සද්දයක් නොකරන්න මං වගබලාගන්නම්..” ජෝසෆ් පොරොන්දු වූුයේය.
සතිියකට පසු ජර්මන් හෙදියන් දෙදෙනා ඒ නිවසෙහි පදිංචියට ආහ. ඔවුන්ගේ දවසින් වැඩි කොටසක් ගෙවුණේ රෝහලේය. එහෙත් රාත්‍රිය නම් සැබෑම හිසරදයක් විය. ජර්මන් සොල්දාදුවෝ නිතරම මේ හෙදියන් මුණ ගැසෙන්නට නිවසට එන්නට පටන් ගත්හ. බොහෝ රාත්‍රීන් වල ඔවුනගේ ගෝෂකාරී සාදයන් ඉවසන්නට ස්ටෙෆානියාටත් නැගණියටත් සිදු විය. මේ හැම රාත්‍රියකදීම, සැගවී සිටින යුදෙව්වන් තුළ බියත් දෙගිඩියාවත් කොයි තරම් ගින්නක් අවුළුවන්නට ඇතිද.?
එක් සැන්දෑවක ජර්මන් හෙදියන් දෙදෙනා නිවසට පැමිණියේ තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සමගය. ඔවුන්ගේ කතා බහද අමුතු විය. හදිසියේම එක් හෙදියක් අටුවට නගින තරප්පුව දිගේ නගින්නට වූවාය. යුදෙව්වෝ තනන ලද ව්‍යාජ බිත්තිය පසුපසට වී ගල් ගැසී සිටියහ. හුස්ම ගන්නා හඩ පවා නතර කරගන්නා තරමට ඔවුහු බියපත්වී සිටියහ. බිත්තියේ වූ සිදුරකින් ජෝසෆ් සියල්ල බලා උන්නේය. තරප්පු දිගේ ඇසුණු අඩි හඩ, දුඹුරු පැහැ හිසකේ සහිත හිස් බවට පත් වී මතු මහලට එබෙනු ඔහු දුටුවේය. මද වෙලාවක් එහි රැදී උන් ඔවුන් නැවතත් තරප්පුව බැස යනු ජෝසෆ්ට ඇසිණ.
මරණයේ තවත් එක් පරික්ෂණයකින් ඔවුහු සමත් වී සිටියහ.
පසුදින නැවතත් අවාසනාව ඔවුන් සොයා ආවේය. ස්ටෙෆානියා රැකියාව කළ කම්හල වසා දැමෙන බව එහි කළමනාකරු නිවේදනය කළේය. පහලොස් දෙනෙකුගේ ජීවිත වලට අත්වැල සැපයූ ස්ටෙෆානියාගේ වැටුපද ඔවුන්ට අහිමි වී ගියේය. පොරෝනා ගෙතීීමේ ප්‍රයත්නය දෙගුණ කරන්නට සියළු දෙනාම උත්සාහ කළහ. එහෙත් එක් පොරෝනාවක් මුදල් සැැපයුවේ තිදෙනෙකුට එක් දිනකට ප්‍රමාණවත් කෑම සැපයීමට පමණකි. පොරෝනා මිලදී ගන්නන් සොයා ගැනීමද කල් යත්ම අසීරු විය. කුසගින්නත් සමග දින ගණන් ගෙවෙන්නට විය. සියළු දෙනාම කුසගින්නේ සිටි එවන් දවසක තවත් අභාග්‍යයක පෙරනිමිත්තක් ඔවුන් සොයා පැමිණියේය. රෝහලේ සිට නිවසට පැමිණිි එක් හෙදියක් ස්ටෙෆානියාට නියෝගයක් නිකුත් කළාය.
“අපි ආපහු ජර්මනියට යන. අපිට අත් උදව්කාරියක් ඕන.. අපිත් එක්ක යන්න ලෑස්ති වෙනවා..”
ස්ටෙෆානියා නිහඩව ගමනට ඇදුම් සූදානම් කලාය. හෙලේනාට හොද ඇදුම් අන්දවා ඇයවද සූදානම් කළාය. මේ ගමනට තමා කොතරම් කැමතිදැයි ජර්මන් හෙදියන් සමග ප්‍රීතියෙන් යුතුව අතොරක් නොමැතිව කතා කළාය. හෙදියන් පිටත්ව යන බස් රථය පැමිණි විට ඔවුන් රථයට නගිනතුරු බිම සිට පමා වූවාය. සියල්ලන්ම රථයට නැංග පසුත් ස්ටෙෆානියා නැංගේ නැත. බස් රථයේ රියදුරා කීප වරක්ම නලාව හඩ නැංවීය.
“මම යන්නෙ නෑ.. මගේ අදහස වෙනස් කළා..” ස්ටෙෆානියා බිම සිට හඩ නගා කීවාය. කෝප වූ හෙදියන් කෑ ගසන්නටත් බනින්නටත් වූ නමුත් ගමනට හදිස්සියෙන් සිටි රියදුරා රථය ඇද්දුවේය. ස්ටෙෆානියා ප්‍රීතියෙන් සිනාසෙමින් නැවතත් නිවසට දිව්වාය. නිවස තුළ තුෂ්ණිම්භූතව උන් ඇගේ දහතුන් දෙනාගේ පවුල වෙත දිවගොස් ජෝසෆ්ව වැලද ගත්තාය.
“මම කොහොමටවත් ඔයාලාව දාලා යන්නේ නෑ..”
ක්‍රමයෙන් නාසි හමුදාවෝ නගරයෙන් නික්ම ගියහ. “ජර්මන් කාරයෝ එනවා..” දිනක් උදෑසනම ජෝසෆ් දිව ආවේය. කවුළුවෙන් පිටත බැලූ ඔවුන්ට දක්නට ලැබුණේ තුවක්කු පවා නැතිව පරාජිත මුහුණු වලින් යුතුව වීදිය දිගේ ගමන් කරන ජර්මන් හමුදා භටයින් තිදෙනෙකි. ඒ ඔවුන් ජර්මන් සතුරන් දුටු අවසන් වතාව විය. ජර්මානුවන් නගරය හැර ගොස් ඇති බවත්, ඔවුන් ආරක්ෂිත බවත් පැහැදිලිවම නිශ්චය කොට ගත් යුදෙව්වෝ මතු මහලින් පහලට බැස්සහ.
නැවතත් ඔවුහු නගරයේ නිදහස් වැසියෝය.. ටාටරස්කා වීදියේ නිවසේ සිටි නිවැසියෝ ප්‍රීතිය සමරන්නට වූහ. ජෝසෆ් ස්ටෙෆානියාවත් හෙලේනාවත් දෑතින් වැලද ගත්තේය.
1945 යුද්ධය  අවසන් වී මාස කීපයක් ගත වූ විට ජෝසෆ් නැවතත් ස්ටෙෆානියාව සොයා ආවේය.
“ස්ටෙෆී.. අදත් මං ආවෙ දෙයක් ඉල්ලන්න.. ඔයාට මතකද එදා මං මෙහෙට මුලින් ආපු දවස..? මං ඔයාගෙන් ඉල්ලුවෙ.. එකම එක දවසක් මේ ගෙදර නවතින්න ඉඩ දෙන්න කියලා..”
“ම්..”
“අද මං ඉල්ලන්නෙ.. මගේ මුළු ජීවිතේම ඔයාගෙ ලගින් නවතින්න මට ඉඩ දෙන්න කියල.. මට ඒකට අවසර ලැබෙනවද..?”
-----------------------------------------
එයින් දින කීපයකට පසුව ජෝසෆ් බර්මින්ස්කිත්, ස්ටෙෆානියා පොඩ්ගරස්කාත් විවාහ වූහ. 1961 දී බොස්ටන්හි රෝහලක දන්ත වෛද්‍යවරයෙකු ලෙස ජෝසෆ්ට රැකියාව ලැබිණ. හෙලේනා වෛද්‍යවරියක වී පෝලන්තයට ගොස් එහිදී විවාහ වූවාය. 1993 දී ජෝසෆ් හා ස්ටෙෆානියාට පෝලන්තය, ඊශ්‍රායලය, ඇමරිකාව වැනි රටවල ප්‍රභූන් සමග වොෂින්ටනයේ හොලොකෝස්ට් අනුස්මරණ කෞතුකාගාරයේ පැවති සමුලුවකට සහභාගි වෙන්නට අවකාශ ලැබිණ. ඔවුන්ගේ සංවේදී කතාන්දරය ලෝකය හමුවට පැමිණියේ එතැනදීය.

නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ පුවත්පත
09.12.2018

No comments:

Post a Comment