Monday, December 3, 2018

නයිජීරියාවේ ළමා යක්දෙස්සියෝ


පතුරු ගැලවුණු ලී බංකුවේ ඉදගෙන දෙපා වනමින් සිටින ජෝයි අවට ලෝකය ගැන වගේ වගක් නැතිව රූපවාහිනී තිරයේ දිග හැරෙන කාටුන් චිත්‍රපටය දෙස බලා හිදී.
මේ තුන් හැවිරිදි දැරිය “මායාකාරියක්” යැයි විශ්වාස කරන්නේවත් කෙසේද.?
එහෙත් ඇය “මායාකාරියක්” ලෙස හණ ගැසූ දරුවෙකිි.  ඇගේ වැඩිමල් සොයුරන් දෙදෙනාද සමග ඇයව අද ගිණිකොණදිග නයිජීරියාවේ කලබාර් නගරයේ විශේෂ ආරක්ෂිත නිවහනක රදවා තැබෙන්නට හේතුවද එයමය.
මේ ආරක්ෂිත නිවහනද කවරය ඉරී ගිය මෙට්ට කිහිපයකුත් එකම එක රූපවාහිනී යන්ත්‍රයකුත් පමණක් ඇති භූගත මහලයකට වැඩි යමක් නොවේ.
මේ භූගත මහලයේද දොර නිතරම ඇත්තේ වසා අගුළු දමාය. එසේ කරන්නේ එහි සිටිනා දරුවන්ගේම ආරක්ෂාවටය. මේ ආරක්ෂිත නිවස්නය තාවකාලික විසදුමකි. මේ දරුවන්ව කවුරුන්ට හෝ හදාවඩා ගැනීමට බාර දෙන තෙක් රදවා ගන්නා නවාතැනක් පමණකි.
එහෙත් මේ දරුවන්ව හදාවඩා ගන්නට බාරගෙන තම නිවෙස් වෙත ගෙන යාමේ අවදානම බාර ගන්නට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේද නැත. හේතුව මේ සියළුම දරුවන් “මායාකාරියන් / මායාකරුවන්” ලෙස හණ ගැසූ දරුවන් වීමය.
කාටුන් චිත්‍රපටය නිම වූ විට ජෝයි උන් තැනින් නැගිට ගොස් ඇය ඇද උන් කමිසය ගලවා දැමුවාය. ඇගේ පිට පුරාම සුදු පැහැයට හැරුණු  පිළිස්සුම් කැලැල්ය. මේ වියලී ගිය පිළිස්සුම් තුවාල කැලැල් ගිනියම් යකඩ මන්නයක් තැබීමෙන් සිදුවූ ඒවා බව තවමත් අදුනා ගන්නට හැකිය. පාපොච්චාරණය කරන ලෙස බල කරමින් ඇයව රත් කළ යකඩයකින් පිළිස්සුවේ ඇගේම අසල්වැසියෙකි.
මීට මාස කිහිපයකට පෙරාතුව ජෝයි සහ ඇගේ අක්කාත් අයියාත් ජීවත් වූයේ ඔවුන්ගේ අත්තම්මා භාරයේය. ඔවුන්ගේ දෙමාපියන් හදිසියේ නොසිතූ විරූ ලෙසින් ජීවිතයෙන් සමුගත් නිසා මේ දරුවන් තිදෙනාගේ වගකීම බාර ගන්නට ඔවුන්ගේ අත්තම්මා ඉදිරිපත් වූවාය.
ඒ වන විටත් එච් අයි වී ආසාදිතයෙකු වී උන් අත්තම්මාද නිතර නිතර අසනීප වන්නට වූවාය. (මේ කලාපයේ එච් අයි වී ආසාදනය වීම යනු උණක් සෙම්ප්‍රතිෂ්‍යාවක් තරමටම සුලභ කාරණයකි.) ඇගේ සෞඛ්‍ය තත්වයද දිනෙන් දිනම පිරිහී ගියේය. දවසින් දවස ඇය ඇටසැකිල්ලක් තරමටම කෘෂ වෙන්නටද වූවාය.
තමන්ගේ අසනීප තත්වයට ඇය නිරන්තරව දොස් පැවරුවේ මේ අනාථ දරුවන් තිදෙනාටය. එනිසාම ඇය පල්ලියේ පූජකවරයා ලවා මේ දරුවන්ට අවවාද කරවන්නට ඔවුන්ව පල්ලියට කැදවාගෙන ගියාය. මේ දරුවන් තිදෙනා දිවා රෑ බියෙන් උන් කාරණාව ඒ පල්ලියේ පූජක වරයා විසින් තහවුරු කළේය. මේ දරුවන් “මායාකාරයින්” බව ඔහු ප්‍රකාශ කළේය.
දැන් අත්තම්මාට සියල්ල පැහැදිලිය. තම දියණියගේත් බෑණාගේත් හදිසි මරණය, තමන් අසනීප වෙන්නට හේතුව.. මේ සියල්ලට හේතුව මේ දරුවන් තිදෙනාය. ඔවුන් පවුල විනාශ කරන්නට ආ මායාකාරයින් වීම නිසාය.
එතැන් සිට අත්තම්මා නිතරම මේ අනාථ දරුවන්ට “මායාකාරයින්” යැයි කියමින් බැණ වැදුණාය. මේ කතාව ඇසුණු අසල්වැසියෙකු පසු දිනම තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණියේය.
පළමුවෙන් මේ පිරිස දරුවන් තිදෙනාව අල්ලාගෙන නොසෑහෙන්නට පහර දුන්හ. ඔවුන් එසේ දරුවන්ට පහර දුන්නේ ඔවුන්ගේ අත්තම්මාට හදි හූනියම් කළා යැයි චෝදනා කරමිනි.
දරුවන් පැන ගොස් කැලෑවෙහි සැගවුණු නමුත් අසල්වැසියෝ එක් වී නැවතත් මේ දරුවන්ව අල්ලාගෙන ඔවුන්ගේ අත්තම්මාගේ නිවසට යාබද නිවසකට ගෙන ගියහ. දරුවන්ගේ දෑත් දෙපා බැද දමා නිවසේ මැටි පොලව මත බිිම දැමූ ඒ මිනිස්සු ගිනි මැලයක් දල්වා යකඩ මන්නා ඒ ගිනි මැලයේ ගිනියම් වෙන්නට දැමූහ.
“අපි මායාකාරයොද කියලා අහ අහා ඒ ගොල්ලෝ අපිට හොදටෝම ගැහුවා. අපි “නෑ” කියලා කිව්වාම අර රත් කරපු යකඩ පිහි වලින් අපේ පිටවල් පිච්චුවා. උදේ ඉදන් රෑ වෙනකල්ම සැරෙන් සැරේට අපිව සැරෙන් සැරේට යකඩ මන්න වලින් පුච්චන ගමන් අපිට හොදටෝම ගැහුවා..
පස්සේ පස්සේ ඒ ගොල්ලො අපෙන් අපි මායාකාරයොද කියලා අහනකොට අපි ඔව් කිව්වා.. අපි එහෙම කිව්වේ තවත් ගුටි කන්න බැරිම තැන.. ඊට පස්සේ ඒ ගොල්ලො ඇහුවා අපේ අම්මයි තාත්තයි මරලා දැම්මේ අපිද කියලා.. අපි ඔව් කිව්වා.. ඒත් අපි ඒ මොනවත් කළේ නෑ.. ඒත් මොනව කරන්නද.. අම්මයි තාත්තයි කලින්ම මැරිලා යන ළමයි කාටත් වෙන්නේ මේ ටිකම තමයි..”
මේ දරුවන් විදින ගැහැට ගැන රහසිගතව පොලිසියට පැමිණිළි කළේ ඔවුන්ගේ මාමා ය.
“මං ඔය මන්තර ගුරුකම් හදි හූනියම් ගැනවත්, මායාකාරයො ගැනවත් විශ්වාස කරන්නෙ නෑ.. පූජකයො තමයි ඕවා කියන්නේ.. පූජකයාගේ කතාව අම්මා විශ්වාස කරලා.. අම්මා විතරක් නෙවෙයි මෙහේ කවුරුත් ඕවා තදින්ම විශ්වාස කරනවනේ..” දරුවන්ගේ මාමා පැවසුවේය.
එය ඇත්තකි. නයිජීරියාව පුරා මිනිසුන් මේ ගුරුකම් හා හදි හූනියම් ගැන දැඩිව විශ්වාස කරති. තමන් අදහන ආගමටත් වඩා ඔවුන් බියක් දක්වන්නේ හදි හූනියම් වලටය.
කුඩා දරුවන්ව මායාකාරයින් හෝ මායාකාරියන් ලෙස හංවඩු ගසමින් හිංසනයට ලක් කිරීමේ නැඹුරුව නයිජීරියාව තුළ ඇතිවන්නේ මෑත කාලීනවය. මෙය ප්‍රසාරණය වන්නේ 1990 දශකය තුලදීය. ඊට පෙර අතීතයේදී මායාකාරියන් හෙවත් යක් දෙස්සියන් ලෙස චෝදනා ලබා නයිජීරියානු සමාජයෙන් පීඩා ලැබුවේ වැඩිහිටි කාන්තාවන්ය.
2008 වසර වන විට ඇක්වා ඉබොම් හා ක්‍රොස් රිවර්ස් හි අග්නිදිග ප්‍රාන්තයන්ගේ පමණක් කුඩා දරුවන් 15,000ක් පමණ මායාකාරියන් ලෙස හණ ගසා ඇති බව වාර්තා විය. (මායාකාරියන් ලෙස තහවුරු කෙරෙන කුඩා දරුවන්ව හරකුන් හණ ගසන ආකාරයෙන්ම ගිනියම් යකඩයකින් පුළුස්සා හණ ගසනු ලබයි. ඔවුන් මායාකාරියක් හෝ යක් දෙස්සියක් බව අනෙක් අයට හදුනා ගන්නට හැකි වනු පිණිස මෙසේ හණ ගසන බව කියවෙයි.)
මායාකාරියන්/මායාකරුවන් හෙවත් යක්දෙස්සියන්/යක්දෙස්සන් ලෙස හංවඩු ගසනු ලැබූ කුඩා දරුවන්ට නයිජීරියානු සමාජයෙන් දැඩි සේ හිරිහැර සිදුවෙයි. මෙසේ හංවඩු ගැසූ කුඩා දරුවන්ට සිදුවුණු හිරිහැර  ගණනාවක් පිළිබදව 2008 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් වාර්තා වී තිබිණ. මේ දරුවන්ගේ හිසට ඇණ ගැසීම, සිමෙන්ති දියකළ වතුර බලහත්කාරයෙන් පෙවීම, ගින්නට දමා පිළිස්සීම, ඇසිඩ් වත් කර පිළිස්සීම, වස දීම සහ පණ පිටින් වලලා දැමීම ඒ හිංසාවන් අතර වෙයි.
යම් අවාසනාවන්ත සිදුවීමක් නිසා දෙමාපියන් අහිමි වූ දරුවන්ද, දෙමාපියන් වෙන් වූ දරුවන්ද මෙසේ යක් දෙස්සන් හෝ යක් දෙස්සියන් ලෙස හංවඩු ගැසෙන්නේ ඔවුන්ගේ පවුලට ඒ අයහපත සිදුවූයේ ඒ දරුවන්ගේ වරදකින් බව නයිජීරියානු සමාජය තදින් විශ්වාස කරන නිසාවෙනි. එමෙන්ම මානසික හෝ කායික දුර්වලතාවයන් ඇති දරුවන් මේ හිංසනයේ පහසු ඉලක්ක බවට පත් වෙන බව 2010 වසරේදී සිදු කළ යුනිසෙෆ් අධ්‍යන වාර්තාවකින් පෙන්වා දෙයි.
යක් දෙස්සන් ලෙස සලකමින් දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට හිංසා පීඩා කිරීම නයිජිරියාවේ නීතියෙන් තහනම් කාරණයකි. 2003 ළමා හිමිකම් පනතට අනුව දරුවෙකුට කායික හෝ මානසික හිංසනයක් සිදු කිරීම හෝ කිසිදු ආකාරයේ අමානුෂික සැලකීමක් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. වසර දහයක සිර දඩුවම් ලැබිය හැකි වරදකි.
එහෙත් මේ නීති වගන්ති බොහෝ විට පොත් පත් වලට පමණක් සීමා වූ ඒවා වෙයි. නයිජීරියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ මේ ළමා යක්දෙස්සන් හංවඩු ගැසීමේ අපරාධය දැනටත් සිදුවෙයි. එසේම මෙවැනි සිදුවීම් එරට අධිකරණය හමුවට ගෙන ආවත් එයින් යුක්තියක් ලැබූ කෙනෙකු  නැති තරම්ය.
වධ කදවුරකට ගාල් කොට තිබුණු “ළමා යක්දෙස්සන්” හතලිස් දෙනෙකු මුදාගත් බව කියවෙන පුවත නයිජීරියානු මාධ්‍ය වෙතින් වාර්තා කෙරුනේ මීට සය මසකට පෙරය. මාධ්‍යට වාර්තා නොවූ සිදුවීම් ඕනෑ තරම්ය.
නීත්‍යඥ ජේම්ස් ඉබොර් මේ ආකාරයේ ළමා හිංසනයන්ට එරෙහිව වැදගත් වැඩ කොටසක් කරන නයිජීරියානු නීතිවේදියෙකි. Basic Rights counsel initiative නම් වූ ඔහුගේ නීති ආධාර ආයතනය මගින් දිගින් දිගටම මෙවන් දරුවන් වෙනුවෙන් පෙනී සිටීම සිදු කරයි.
“ඒත් අපේ නයිජීරියාවට නීති වලින් විතරක් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.. අපේ රටේ නීති වලට දොස් කීමෙන් හෝ මේ විනාශයේ වරද පූජකයින් පිට පැටවීමෙන් පලක් වෙන්නෙත් නෑ.. අපේ රටට අවශ්‍ය වෙන්නේ නිසි අධ්‍යාපනයක්.. ආකල්ප වල වෙනසක්.. කුඩා දරුවන්ට යහපත් සමාජ වටපිටාවක් බිහි කරන්නට අපිට හැකි වෙන්නේ එතකොටයි..” ඔහු පවසයි.

නිම්මි මුදිතා හේරත්.
ඉරිදා දිවයින
02.12.2018

No comments:

Post a Comment