Sunday, December 9, 2018

පාලමක් විකිණීමට තිබේ.


London Bridge is Falling Down.. Falling Down…
පුංචි කාලයේ අප කවුරුත් අසා ඇති ළමා ගීයකි. අදටත් පෙරපාසැල් දරුවන් මේ ගීය කියමින් විනෝද වෙති.
ලන්ඩන් පාලම බිද වැටෙමින් පවතින බව ඉන්ජිනේරුවන් විසින් සැබෑවටම සොයා ගත්තේ 1900 ගණන් වල මුල් කාලයේය. එහෙත් එය කිසිසේත්ම විනෝද වෙන්නට කාරණයක් නම් වූයේ නැත.
 තනිකරම කළු ගලින් තැනූ මේ පාලම ඒ වන විටත් අවුරුදු සියයකට වඩා පරණය. එය ලන්ඩනයේ ජනාකීර්ණම ස්ථානයයි. හැම පැයකම පදිකයින් 8000 ක්, වාහන 900ක් ගමන් කරන ස්ථානයයි. ඒ වන විට මේ පාලම හෙමින් සීරුවේ ගිලා බසිමින් පවතින බව සොයා ගැණින. මිනින්දෝරුවන් විසින් ගණනය කළ අන්දමට වසරකට සෙන්ටිමීටරයකින් තුනෙන් එක බැගින් ලන්ඩන් පාලම ගිලා බසිමින් පැවතිණ.
1924 අවුරුද්දේදී  සිිදු කරන ලද මැනීම් වලට අනුව පාලමේ නැගෙනහිර පැත්ත  බටහිර පැත්තට වඩා සෙන්ටිමීටර් නවයක වෙනසක්  ඇති බව සොයා ගන්නා ලදී. මේ  සම්බන්ධව කුමක්  කල යුතුදැයිි තීරණයක් ගන්නට නාගරික කවුන්සිලයට  තවත් වසර හතරක කාලයක් ගත විය.
මේ පාලම  කඩා  විනාශ  කර  දැමීම වෙනුවට එය විකුණා  දැමිය යුුතු යැයි  නගර සභාවේ  සභිකයෙකු  වූ  ඉවාන් ලුකීන් යෝජනා කළේය.
මුලින්  නම් ඉවාන්ගේ  යෝජනාව නගර සභිකයින්ට මහත්  මවිතය ගෙන  දෙන කාරණයක් වුවද පසුව ඒ කාරණය  සලකා බලන්නට නගර  සභිකයින්  විසින්  තීරණය කරන  ලදී. ඇත්තෙන්ම ලන්ඩන් පාලම  විකුණා  දැමිය යුතු  යැයිිද, එයින්  ලැබෙන මුදල නාගරික සුභ සිිද්ධිය  සදහා  පාවිච්චි  කළ හැකි යැයිිද  නගර  සභාව  විසින් තීරණය කරන ලද්දේ 1967 අවුරුද්දේදීය.
මේ තීරණය ප්‍රකාශයට පත් කර මාස කිහිපයක් යන තුරුම පාලම මිලදී ගන්නට ඉල්ලුම් කරුවන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වුණු නමුත් නාගරික සභාවට එකග විය හැකි මිලක් ගෙවන්නට හැකි කෙනෙක් ඒ අතර වූයේ නැත. අන්තිමේදී මේ ගැනුම් කරුවන් කැදවීම අවසානයක් කරන්නට යෙදී තිබුණු අවසාන දිනයට සති පහකට කලින්, පාලම විකිණීමේ වගකීම තම කරට ගෙන ඒ වෙනුවෙන් ඇමරිකාවට යන්නට ඉවාන් ලුකින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේය.
එහෙත් ඇමරිකාවේදීද පාලම විකුණා ගැනීම එතරම් පහසු වූයේ නැත. ඔහු ඇමරිකාවේ නිව්යෝක් නුවර ඇති බ්‍රිතාන්‍ය ඇමරිකානු වාණිජ මණ්ඩලයේදී පාලම පිළිබදව මාධ්‍ය හමුවක් කැදවූයේය.
“1832 දී හදලා තියෙන නිසා මේ පාලම ඒ තරම් පරණ නම් නෑ තමයි.. ඒත් ඒ කාරණයයි, මේ පාලම උඩ ගෙවල් නැති එකයි, මේ ගැන කියවෙන ළමා ගීතයකුයි ඇරෙන්න මේ පාලමේ ඇති වැදගත්කම මොකක්ද..?”
“ලන්ඩන් පාලම නිකම්ම නිකම් පාලමක් විතරක් නෙවෙයි. ඒක ක්‍රිස්තු වර්ෂ පළමු සියවස කාලයට අදාල  රෝමානු ලන්ඩන් සංස්කෘතික සබදතාවය දක්වා දිවෙන අවුරුදු දෙදහසක පමණ ඉතිහාසයකට උරුම කම් කියන්නක්...” ලුකීන් මහතා එසේ පටන් ගෙන පාලම ගැන දීර්ඝ දේශනයක් කළේය.
එයින් පසු වැඩි දවස් යන්නට කලියෙන් ඇමරිකාවේ මිසූරි හි මැකූලෝච් තෙල් සමාගමේ හිමිකරු වූ ධනවත් ව්‍යාපාරික රොබර්ට් මැකුලෝච් පාලම මිලදී ගන්නට ඉදිරිපත් වූයේය. ඔහු විසින් පාලම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2.46 කටය.
ඊට වසර කීපයකට පෙර රොබර්ට් මැකූලෝචි විසින් ඇමරිකානු රජයෙන් ඉඩම් අක්කර දහස් ගණනක් මිලදී ගෙන තිබිණ. ඒ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ හවාසු විල සමීපයෙනි. හවාසු විල කොලරාඩෝ ගංගාව හරස් කිරීමෙන් නිර්මාණය වුණු විශාල ජලාශයකි. රොබර්ට් මැකූලෝච් විසින් “ලේක් හවාසු සිටි” නමින් නගරයක් ලෙසින් මේ ඉඩම් සංවර්ධනය කළද ඒ ඉඩම් වලට ගැණුම් කරුවන් සොයා ගැනීම ඔහුට අසීරු කරුණක් වී තිබිණ. ඔහුගේ ව්‍යාපාරික සහකරුවා වන සී. වී වුඩ් විසින් ලන්ඩන් පාලම ගැන ඔහුට කීවේ මේ අතරතුරය. ලන්ඩන් පාලම මිලදී ගෙන තම විශාල ඉඩම සංචාරක ආකර්ශනය ඇති නිවාඩු නිකේතන කලාපයක් කරන්නට හැකි බව මැකූලෝච්ට සැණෙකින් වැටහිණ.
අඩි 950 ක් දිග, ටොන් 33,000 ක් බර පාලම පරිස්සමින් ගඩොලින් ගඩොල ගලවා විශාල ලී පෙට්ටි වල පරිස්සමට අසුරා නැව් මගින් පැනමා ඇල දිගේ කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් වෙත ප්‍රවාහනය කරන ලදී. එතැන් සිට ඒ කලුගල් කුට්ටි ඒවා ගෙන යා යුතු තැන දක්වා ප්‍රවාහනය කරන්නට සැතපුම් තුන්සීයක් දුර ට්‍රක් මගින් ගෙන යා යුතු විය. මේ කලුගල් කුට්ටි ප්‍රවාහන කාර්යයට පමණක් මැකූලෝච්ට ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් වැය විණ.
ඉන්පසුව එළඹුණේ අසීරුම කොටසයි. එනම් පාලම නැවත එකලස් කිිරීමේ කාර්යයයි. වාසනාවකට මෙන් ඒ හා සම්බන්ධ හැම දෙයක්ම අති සියුම් ආකාරයට සැලසුම් කර තිබිණ. පාලම ගලවා ඉවත් කිරීමේදීම එහි හැම ගඩොලක්ම වාගේ අංකනය කර පිලිවෙලකට අසුරන්නට ක්‍රියා කර තිබිණ. එසේ කර තිබුණද, පාලම තිබුණු ආකාරයෙන්ම යලි එකලස් කරන්නට අවුරුදු තුනක කාලයක් ගත විණ. කලුගල් කුට්ටි කොතරම් පරිස්සමින් ප්‍රවාහනය කර තිබුණද, ඒවායින් ඇතැම් ඒවා ප්‍රවාහනයේදී පළුදු වී තිබිණ. ඒ පළුදු වූ ගල් කුට්ටි වෙනුවට අලුත් ගල් යොදාගන්නට සිදු විය. ඒ අලුත් ගල් වලට ශත වර්ශයකට ආසන්න පැරණි පෙනුම ලබා දෙන ලද්දේ භූමිතෙල් ලාම්පු මගින් නිපදවාගත් දැලි ඒ ගල් කුට්ටි මතුපිට විශේෂ ක්‍රමයකට තවරා ගැනීමෙන් පසුවය.
මේ පාලම මතින් ගමන් කරන රථ වාහන වලටත් පදිකයින්ගේ බරටත් ඔරොත්තු දිය හැකි වන පරිදි පරණ පාලමේ ආරුක්කු ඇතුලතට පිටතට නොපෙනන සේ යකඩ හා කොන්ක්‍රීට් මුසු රාමු යොදන ලදී.
දැන් ඉතින් පාලම හදා ඉවරය. දැන් තියෙන්නේ පාලම යටින් ගගක් තැනීමේ කාර්යයයි. ගගක් නැති පාලමක ඒ හැටි ආකර්ශනයක් නැත. එහෙත් ලේක් හවාසු නගරයේ ගංගාවක් නැත. පාලම හදා ඇත්තේ වියලි තැනිතලා බිම මතිනි. ඒ නිසා ඊලග අදියර වූයේ පාලම යටින් ගගක් තැනීමයි. පාලම යටින් දිවෙන සේ දිය ඇලක් හවාසු විලේ සිට තනන ලදී. මේ ඇල සැතපුමක් පමණ දිගය.
ලන්ඩන් නගරයෙන් ගලවා ඉවත් කෙරුණු ලන්ඩන් පාලම 1970 ඔක්තෝබර් 10 වෙනි දින ඇමරිකාවේ ඇරිසෝනා හි හවාසු සිටි නගරයේදී නැවත විවෘත විය. ඒ අති දැවැන්ත උත්සව මාලාවක්ද සමගිනි. මේ විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ලන්ඩන් පාලම විකුණා දමන්නට තීරණය කළ ලන්ඩන් නගරාධිපති වරයාය.
රොබර්ට් මැකුලෝච්ගේ ව්‍යාපාරික උපක්‍රමය අති සාර්ථක විය. ලේක් හවාසු සිටි නගරයේ ඉඩම් වලට වූ ඉල්ලුම රොකට් වේගයෙන් ඉහල නගින්නට වීය. 1960 දශකය පුරාවටම දෙතුන් සිියයක් පමණක් වූ හවාසු සිටි නගරයේ ජනගහනය 1974 වන විට 10,000 ක් දක්වා ඉහල නැංවී තිබිණ. ලන්ඩන් පාලම විසින් නගරයට ආකර්ශනය කරගත් සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකකට අධික විය.
වර්තමානය වන විට හවාසු ලේක් සිටි හි පදිංචි කරුවන් සංඛ්‍යාව 52,000 ඉක්මවයි. ලන්ඩන් පාලම ඒ වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ එක් කොටසක් පමණකි. පාලම කෙරේ වූ නැවුම් උනන්දුව මිනිසුන් වෙතින් ගිලිහී ගොසිනි. එහෙත් හවාසු  ලේක් සිටි නගරය නිර්මාණය කරන්නට වැදගත්ම දායකත්වය ලැබුණේ පෞරාණික ලන්ඩන් පාලම වෙතිනි.

නිම්මි මුදිතා හේරත්.
ඉරිදා දිවයින
09.12.2018

No comments:

Post a Comment