Saturday, November 24, 2018

ගිරි දුර්ග යා කරන “තණකොළ පාලම”



පේරූ දේශයේ ඇන්ඩීස් කදුවැටියේ ගිරි දුර්ග මාර්ගයකි. ඒ මාර්ගයේ කදු ශිඛර දෙකක් මැද්දෙන් දිවෙන ප්‍රපාතයකි. අපුරිමැක් ගංගාව ගලන්නේ ඒ පහත් බිමෙනි.
ඇන්ඩීස් කදුවැටියේ දුෂ්කර ගම්මාන වල වැසියන්ට බාහිර ලෝකය හා සම්බන්ධ වෙන්නට මේ ප්‍රපාතය මතින් අපුරිමැක් ගංගාව තරණය කිරීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් නැත. 
ප්‍රපාතය තරණය කරන්නට ඔවුන්ට ක්‍රමයක් ඇත. ඒ වැල් පාලමකි. මේ වැල්පාලමේ නම ක්වෙස්වාචාකා පාලමයි. ශතවර්ශ ගණනාවක් තිස්සේ දුර්ග වාසීන්ට අපුරිමැක් ගංගාව තරණය කරන්නට ආධාර සැපයුවත් ක්වෙස්වාචාකා පාලම තවමත් පැරණි නැත. එය හැමදාමත් අලුත්ය.

ක්වෙස්වාචාකා පාලමේ අතීත මෙන්ම වර්තමාන කතාවද අපූරුය.
ඇන්ඩීස් කදුවැටියේ දුෂ්කර ගම්මාන රැසක්, පේරු හි කානාස් පලාත හා සම්බන්ධ කරන මෙවැනි වැල් පාලම් මුලින්ම බිහි වී ඇත්තේ ඉන්කා අධිරාජ්‍ය සමයෙහිිය. ඒ එසමයෙහි ඉදි කරන ලද “මහා ඉන්කා මාර්ගය” ඉදිකිරීමේදීය. සැතපුම් 25,000 ක් දුරට දිවෙන මේ “මහා ඉන්කා මාවත” හුදෙකලාව දිවි ගෙවූ ගම්මාන රැසක් එකිනෙක හා සම්බන්ධ කරන මාර්ගයක් වීිය. අතිශයින් රළු වූ ඇන්ඩීස් භූ කලාපයේදී මේ මාර්ගය ඉදි කිරීම පහසු කාර්යයක් නොවීය. පාරක් කපන්නට කිසිසේත් හැකියාවක් නොවූ තැන් වලදී උස් කදු මුදුන් යා කරමින්, බිහිසුණු ප්‍රපාතයන් හරහා වැල් පාලම් ඉදි කිරීම ඇරඹුණේ එබැවිනි. 

ඉන්කා අධිරාජ්‍යය බලයෙන් පිරිහීමත් සමග පැමිණි ස්පාඤ්ඤ ජනපදකරණ වැසියන් විසින් මෙම එල්ලෙන පාලම් වල තාක්ෂණය දැක ඒ කෙරේ ඇතිවූ උනන්දුවෙන් යුතුව ඔවුන්ගේ මාවත් තැනීමේදී ලී මිශ්‍ර එල්ලෙන පාලම් තනන්නට පටන් ගත්හ. එහෙත් කාලයත් සමග එම පාලම් දිරාපත් වී විනාශ වී ගිය අතර, ඉතිරි වූ ඒවා භාවිතයෙන් තොර විය. විසි වෙනි සියවසේ අලුත් මාර්ග හා පාලම් ඉදිවීමෙන් පසුව මේ වැල් පාලම් නැත්තටම නැති වී යන තත්වයකට පත් විය.
එහෙත් ක්වෙස්වාචාකා පාලම තවමත් එදා වාගේමය. ඒ ක්වෙස්වාචාකා පාලමටම වෙන් වූ චාරිත්‍රය නිසාය.
වර්තමානයේ ඇන්ඩීස් කදුවැටියේ වෙසෙන ගෝත්‍ර හතරක් මේ පාලම භාවිත කරමින් එකිනෙකා හා සබදතා පවත්වති. මේ ගෝත්‍ර හතරම ක්වෙචුවා බස කතා කරන අය වෙති. මේ ගෝත්‍ර හතරේම මිනිසුන් එක් වී අවුරුද්දකට වතාවක් කරන එක් චාරිත්‍රයක් ඇත. ඒ ඔවුන්ගේ වැල් පාලම නැවත ගොඩ නැගීමයි.
වසර පන්සීයකට වඩා පැරණි, එහෙත් සජීවි සංස්කෘතියක් කෙනෙකුට දැකගත හැක්කේ මේ ගෝත්‍රිකයින්ගෙනි. ඉන්කා වරුන්ගේ දේශපාලන අධිරාජ්‍යය බිද වැටී ඇතත් ඔවුන්ගේ සංස්කෘතිය ඒ අයුරින්ම මේ ගෝත්‍රිකයින් තුළ අදටත් නොනැසී පවතියි.

ඒ සංස්කෘතියේ වැදගත්ම අංගය වනුයේ ඔවුන්ගේ සාමූහිකව වැඩ කිරීමේ ලක්ෂණයයි. ක්වෙස්වාචාකා පාලම අදටත් පැවතීමේ රහසද එයයි.
මේ ගෝත්‍ර හතරේම මිනිසුන් වසරකට වතාවක් එකට එකතු වෙති. ඔවුන් වැඩ පටන් ගන්නේ උස් තණකොළ කපා එකතු කිරීමෙනි. කදුවැටියේ වැවෙන එක් තණ වර්ගයක් කපා එකතු කරගන්නා ඔවුහු ඒවා වේලා පදම් කරගනිති. ඉන් පසු ඒ කෙදිති වලින් සාමාන්‍ය ප්‍රමාණයේ කඹ අඹරා ගනිති. ඒ කඹ එකිනෙකට අඹරමින් නැවතත් දැවැන්ත ප්‍රමාණයේ කඹ අඹරති. මෙසේ තනා ගන්නා එක කඹයක මහත වැඩුණු මිනිසෙකුගේ කලවයක් තරම් වෙයි. මේ අතිවිශාල කඹ වර්ගයෙන් සැතපුම් ගණනක දිග ඇති කඹ ප්‍රමාණයක් ඔවුන් විසින් අඹරා ගනු ලබයි. මෙසේ ගොතා ගන්නා ලද කඹ ඔවුන් විසින් කදු හිස් දෙක දෙකෙලවර වූ දැවැන්ත ශෛලමය ආධාරක වල ගැටගසා ගනු ලබයි. මේ ආධාරක පාලම් පිලිබද විශේෂඥ පාරම්පරික දැනුම ඇති වැඩිහිටියන් විසින් සකසා ගන්නා ලද ඒවා වෙයි.

ඉන්පසුව කලින් තනාගත් ඝණකම් කඹ ආධාරයෙන් පාලම වියන්නට පටන් ගනී. දෙපැත්තේ සිිට වියන පාලම මැදදී හමුවෙයි. එතැනින් පාලම එකට අමුණා ගත් විට පාලමේ යට කොටස තැනීම ඇරඹෙයි. පාලමේ යට කොටස පවා තැනෙන්නේ කිසිවෙකුගේ පයක්වත් ලිස්සා නොයන තරමට ආරක්ෂිත ආකාරයටය. 
පාලම තැනීම අවුරුද්දක් පාසා සිදු කළත්, වසර පන්සිය ගණනකට පෙරාතුව පාලම සැදූ ක්‍රමවේදය අංශුමාත්‍රයක්වත් තවමත් වෙනසක් වී නැත. ඒ තාක්ෂණය අදටත් එසේම භාවිතා වෙයි. 
අලුත් පාලම තනා ගත් පසුව පැරණි පාලම දෙකෙලවරින් කපා ප්‍රපාතයට හෙලයි. දැන් මාර්ගය දෙපස යා කරන්නේ අලුතින් තැනූ පාලමයි. එහෙත් වැඩ නම් ඉවර නැත.

ඉන්පසුව ගෝත්‍ර හතරේම මිනිසුන් එකතු වී ආගමික චාරිත්‍ර ආරම්භ කරයි. පාලමේ ගමන් කරන කිසිවෙකුට අතුරු ආන්තරාවක් සිදු නොවනු වස් පාලමට ආශිර්වාද කරමින් යාඥා කරයි. ඉන්පසුව ඔවුහු තම එකමුතුවත්, උත්සාහයත්, කැපකිරීමත් එහි ප්‍රතිපලයත් සමරමින් ප්‍රීීති උත්සව පවත්වති. 
දැන් පාලම සූදානම්ය. තවත් වසරක කාලයක් තිස්සේ ගෝත්‍ර හතරක මිනිසුන්ව බාහිර ලෝකයත් සමග සම්බන්ධ කරවීමේ ආධාරකය වෙන්නට ක්වෙස්වාචාකා පාලම සුදානම්ය.

වර්තමානයේ නම් ක්වෙස්වාචාකා පාලම ඒ ගෝත්‍ර හතරේ මිනිසුන්ට පමණක් සීමා වූවක් නොවේ. මේ පාලමත් ඒ හා බැදුණු මිනිසුන්ගේ සංස්කෘතියත් දැක ගැනීමට ලෝකයේ හතර දෙසින් එන සංචාරකයින්ද මේ පාලමෙන් නිරන්තරව ගමන් කරති. වාහන ගමනාගමනයට ගැලපෙන සේ තැනූ නූතන පාලමක්ද වර්තමානයේ මේ මාර්ගය යා කරමින් ඉදි වී ඇතත්, ඉදහිටක ගමන් ගන්නා වාහනයක් දෙකක් හැරුණු කොට ඒ අලුත් පාලම මතින් ගමන් කරන අය ඇත්නම් ඒ ස්වල්පයකි. 
ඇන්ඩීස් ගම් වැසියන් තම සංස්කෘතිය, පාරම්පරික දැනුම, හා එකමුතුව තමන් වෙතින් උදුරාගන්නට අලුත් මාර්ග සංස්කෘතියට ඉඩ දෙන්නේ නැත. එනිසාම 2013 වසරේදී ක්වෙස්චාවාකා පාලම හා ඒ හා බැදුනු වටපිටාව “අති සියුම් මානුෂීය සංස්කෘතික උරුමයක්” ලෙසින් යුනෙස්කෝව විසින් නම් කරන ලදී. 

නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින 
18.11.2018

No comments:

Post a Comment