තවත් දවසකට
රැය පහන් වී තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන්ට එක දෙයක් ගැන නම්
විශ්වාසය. ඒ අද උදෑසනට ඉර පායා නැතත්, අර කුරුටු වචනය නම් පාරක් පාරක් ගාණේ,
තාප්පයක් තාප්පයක් ගානේ ඇති බවය.
එය සිඩ්නි
නුවර වැසියන්ට එතරම්ම හුරු පුරුදුය.
ඒ කුරුටු වචනය
පාරක් පාරක් ගාණේ, තාප්පයක් බිත්තියක් ගාණේ ලියවෙන්නට පටන් ගත්තේ අදක ඊයේක පටන්
නොවේ.
අවුරුදු විසි
පහක් තිස්සේ දැන් ඒ වචනය සිඩ්නි නුවර වැසියන්ට හුරු පුරුදුය.
“Eternity”
1930
අවුරුද්දේ සිට 1956 අවුරුද්ද වෙන තෙක්ම සිඩ්නි නගරයේ වැසියන් උදෑසන අවදි වන විට
නගරයේ හැම මහපාරකම, අඩි පාරකම, හැම තාප්පයකම, හැම දුම්රිය පොලකම කහ පැහැති හුණු
කූරකින් මේ වචනය ලියා තිබෙනු දකින්නට හැකි විය.
එහෙත් තඹ පතක
කුරුටු අකුරු මෙන් පරණ පන්නයේ වැල් අකුරින් මේ වචනය තාප්ප වලත් පාරවල් ගාණේත් ලියන
පුද්ගලයා නම් මේ අවුරුදු විසිපහ තිස්සේම කිසිවෙකුට දැක ගන්නට බැරි විය.
කවුරුන් හෝ
අද්භූත පුද්ගලයෙකු මහ රෑ මැද්දේ නගරයට රිංගා නගරයේ හැම තැනකම “eternity “ යනුවෙන් තම පැමිණීමේ
සලකුණ තබයි.
නගරයේ හැම
තැනම කෙරෙන මේ කුරුටු ගෑම නිසා මුල් කාලයේ නම් මේ කුරුටු සටහන සිඩ්නි නුවර නගර
සභාවේ දැඩි අප්‍රසාදයටත් කෝපයටත් ලක් වීය. එහෙත් දින පතා මේ කුරුටු වැකිය නගරයේ
හැම තැනම ලියවී තිබිණ. දින සති බවටත්, සති මාස බවටත්, මාස අවුරුදු බවටත් පත්ව
ගෙවී යද්දී සිඩ්නි වැසියෝ මේ කුරුටු ගීයට හුරු වූහ. “Eternity” හෙවත්
“සදාකාලිකත්වය” යන වචනය සිඩ්නි නගරයේ තදින් සලකුණු වූ සංකේතයක් බවට පත් විය. ඒ කුරුටු
වචනය පාරක ලියා ඇති විටක ඒ මගෙහි ගමන් කරන්නන් එය නොපෑගෙන සේ පරිස්සමින් මගහැර
යන්නට පුරුදු වූහ. පාර අතුගාන නගරසභා සේවකයින් පවා ඒ සටහන නොමැකෙන සේ පාර
අතුගාන්නට හුරු වූහ. තාප්ප පිරිසිදු කරන්නෝ ඒ අපූරු අකුරු පෙල මකා දැම්මේ නැත.
මේ අපූරු
අකුරු වැල ලියන අද්භූත මිනිසා ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ කුරුටු
චිත්‍ර කලාකරුවා බවට පත් වීය. මේ වැකිය ලියන නමක් ගමක් නොදන්නා මිනිසාව කවුරුත්
හැදින්නුවේ “මිස්ටර් එටර්නිටි” යනුවෙනි.
1959
අවුරුද්දේ එක් උදෑසනක් වන තෙක් මේ “මිස්ටර් එටර්නිටි” යනු කවුරුන්දැයි කිසිවෙකු
දැන උන්නේ නැත. වසර විසි හයක් පුරාවටම සිඩ්නි නුවරට මෙන්ම ලෝකයටම රහසක් වී තිබිණ.
1956
අවුරුද්දේ දිනක උදෑසනම සිඩ්නි නුවර බර්ටන් වීදියේ බැප්ටිස්ට් දේවස්ථානයේ
දේවගැතිවරයා වූ ලිස්ලේ එම් තොම්ප්සන් දේවස්ථානයෙන් පිටතට ආවේය. ඔහු එක්වරම දුටුවේ
දේවස්ථානය පිරිසිදු කරන්නට එන කම්කරුවෙකු වෙනදාටත් වඩා උදේම පැමිණ ඇති අන්දමය.
කම්කරුවා මෙතරම් උදෙන් පැමිණියේ ඇයිදැයි දැනගන්නට පියතුමා ඈත සිට බලා උන්නේය.
බිම හිදගත්
කම්කරුවා තම කබා සාක්කුවට අත දමා එහි වූ යමක් පිටතට ගත්තේය. ඒ කහ පාට හුණු කූරකි.
ඉන්පසුව ඔහු දේවස්ථානයේ එලිපත්ත මත යමක් ලිව්වේය.
ඒ හුරුපුරුදු
සලකුණ දේවගැතිවරයා අදුනා ගත්තේය.
“Eternity”
දේවගැතිවරයා
ඉක්මන් ගමනින් කම්කරුවා අසලට ගියේය.
“ඔහේ නේද
“මිස්ටර් එටර්නිටි”..?”
“එහෙමයි
පියතුමනි.. සමාවෙන්න..” කම්කරුවා බිමට නැවුණු හිසින් යුතුව උත්තර දුන්නේය.
මේ
සොයාගැනීමෙන් වැඩි වෙලාවක් යන්නට කලියෙන් Sunday Telegraph පුවත්පතෙහි මාධ්‍යවේදියෙක් ඔහු සොයා පැමිණියේය.
අවුරුදු විසිපහක් පුරා සිඩ්නි නුවර
වැසියන් නොදැන උන් රහස එලිකෙරිණ. නාදුනන කුරුටු චිත්‍ර ශිල්පියාගේ නම ආතර් මැල්කම්
ස්ටේස් ය.
1885 අවුරුද්දේ රෙඩ්ෆර්න් නගරයේ උපත ලද
ස්ටේස්ගේ ළමා අවධිය මෙන්ම තරුණ වියෙන් වැඩි කාලයක්ද ගෙවී ගියේ දුප්පත්කමේ අන්තිම
අඩියේ අනන්ත දුක් විදිමිනි. ඔහුගේ දෙමාපියන් දෙන්නාම බීමතට ඇබ්බැහි වී උන්හ. ඔහුගේ
අක්කලා ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියහ. ජීවත් වෙන්නට ස්ටේස් නොකළ දෙයක් නැත. වරෙක
ඔහු කඩවල් වලින් පාන් සොරකම් කොට අසුවී ගුටි කෑවේය. බඩගින්න දරා ගන්නට බැරි
තැන කසල බදුන් අවුස්සා ඉදුල් අහුලා කෑවේය.
වයස අවුරුදු දොලහ වෙන විටම ස්ටේස්
මුරකරුවෙකු ලෙස රැකියාවක් කරන්නට පටන් ගත්තේය. ඉන් පසු ගල් අගුරු කම්කරුවෙකු ලෙසද
කලක් වැඩ කළේය. වැඩි කලක් යන්නට කලින් දෙමාපියන් මෙන්ම ඔහුද බීමට ඇබ්බැහි වුණේය. බීමතින්
හැසිරීම නිසා ඔහු පහලොස් වතාවක් පමණ සිරගත වූයේය.
ඔහුට අවුරුදු විසි ගණන් වන විට ගණිකා
නිවාස වල හා මත්පැන් හල් වල මත්පැන් බෙදන සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන්නේය. ඉන්පසු
ඔහු සූදු පොලවල් වල ඔත්තු බලන්නෙකු ලෙසද රැකියාව කලේය.
පළමු ලෝක යුද්ධ කාලය තුළ ස්ටේස්ට ඔස්ට්‍රේලියානු
රාජකීය හමුදාවේ කම්කරුවෙකු ලෙස රැකියාවක් ලැබිණ. එහෙත් රෝගාතුර වීම නිසාම ඔහුට ඒ
රැකියාවද අහිමිව ගියේය.
අවාසනාවම උරුම කරගත් ඔහුට ජීවිතයේ
සැනසීමක් ලැබුණේ දවසක් අසන්නට ලැබුණු එක් දේශනයක් නිසාය. ඒ 1932 අවුරුද්දේ
නොවැම්බර් මාසයේදී බැප්ටිස්ට් පූජකවරයෙකු වූ ජෝන් රයිඩ්ලි විසින් පැවැත්වූ "Echoes
of Eternity" නම් දේශනාව අසන්නට ලැබිමය. ඒ වචනය
ඔහුගේ සිතට තදින් කා වැදිණ.
“සදාකාලිකත්වය.. සදාකාලිකත්වය.. මම
සදාකාලිකත්වය සොයාගෙන යන්න ඕන.. කවදා හරි.. කොහොම හරි..” ඔහුගේ සිතේ සටහන් විය.
ඔහු දේශනය පැවැත්වුණු පල්ලියේම බිමට
නැවී අත වූ කුඩා හුණු කූරකින් Eternity යන වචනය පොලව මත ලීවේය.
ඔහු නූගතෙකි. වෙනකක් තබා ඔහුගේ නමවත්
හරියට ලියා ගන්නට බැරි කෙනෙකි. එහෙත් ඔහු අතින් Eternity යන වචනය අපූරුවට ලස්සනට ලියවුණේය.
“ඒක කොහොම වුණාද මන්දා.. මට ඒක තේරුම්
ගන්න බෑ.. තාමත් මට ඒක තේරුම් ගන්න බෑ..” පසුකලෙක ඔහු පුවත්පතකට කීවේ එසේය.
ඒ දේශනය ඇසුවායින් පසුව එළඹි හැම
දිනයකදීම උදේ පාන්දර අවදිවන ඔහු ඒ වචනය සිඩ්නි නගරයේ වීදියක් වීදියක් ගාණේ,
තාප්පයක් තාප්පයක් ගානේ ලීවේය. ඒ කාටත් නොපෙනෙන්නට හොරෙන්ය. මේ කුරුටු ගී ලිවීම
අහු වෙන්නට ගිය වාරද අනන්තය.
“සමහර විට දෙවියෝත් මට ආශිර්වාද කරන්න
ඇති.. මං කාටවත් අහු වුණේ නෑ..” ඔහු කීවේය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහු
විසින් ඒ වචනය මිලියන බාගයකට ආසන්න වතාවක් ලියා තිබිණ. ස්ටේස් දශක ගණනක් තිස්සේ
පාරවල් දිගේ ලියූ මේ වචනය නොමැකෙන ලෙස සිතුවම් වූයේ සිඩ්නි වැසියන්ගේ හදවත් තුළය. ඒ
කුරුටු සිතුවම කොතරම් දුර දිග ගියාදැයි කිවහොත් එය සිඩ්නි වරායේ පාලම මත දැවැන්ත
නියෝන් අකුරින් සටහන් වන දිනයක්ද එළඹිණ.
ඒ වසරේම, එනම් 2000 වසරේ සිඩ්නි
ඔලිම්පික් උලෙලේ සමාරම්භක උත්සවය තුළ සිඩ්නිහි අනන්‍යතාවය ලෙසින්ද ස්ටේස්ගේ කුරුටු
වැකිය ලෙල දුන්නේය.
Eternity පුවරුව තවමත් සිඩ්නි නගරයේ තැනින් තැන දැවැන්ත පුවරු වල සටහන් වෙයි. එහෙත්
දුප්පත් ස්ටේස් නගරය පුරා මිලියන වතාවක් ලියූ Eternity කුරුටු සිතුවමෙන් දැන් ඉතිරිව ඇත්තේ දෙකක් පමණකි.
එකක් ඔහු විසින්ම ඒ් වචනය ලියා ඔහුගේ
අසල්වැසි දුප්පතෙකුට දුන් පරණ කාඩ්බෝඩ් කැබැල්ලකය. ඒ කොළ කැබැල්ල දැන් ඇත්තේ ඔස්ට්‍රේලියාවේ
කැන්බරා හි ජාතික කෞතුකාගාරයේය.
ඔහුගේ අනෙක් කුරුටු සටහන තිබෙනුයේ
සිඩ්නි නගරයේ තැපැල්හලේ ඔරලෝසු කණුවේ ඇති සීනුව ඇතුලතය.
නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ
26.11.2018
No comments:
Post a Comment