Saturday, November 24, 2018

ගින්නෙන් අලුවී ගිය මැණික් ආකරය - බ්‍රසීල ජාතික කෞතුකාගාරය



ඓතිහාසික කලා කෘතීන්, ඊජිප්තු මමි ඇතුළු පෞරාණික භාණ්ඩ මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මුළුමනින්ම ගින්නෙන් දවා හලු කරමින් සැප්තැම්බර් 02 වන ඉරිදා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර ඇති බ්‍රසීල ජාතික කෞතුකාගාරය ගින්නෙන් විනාශ වී ගියේය.

බ්‍රසීල ජාතික කෞතුකාගාරය බ්‍රසීලයේ ඇති පැරණිතම විද්‍යා ශාස්ත්‍රීය ආයතනයයි. එමෙන්ම මානව විද්‍යාව හා ස්වභාවික විද්‍යාවන් පිළිබද වූ විශාලතම කෞතුකාගාරයයි. මෙය පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර Quinta da Boa Vista උද්‍යානයේ ය. මේ ගොඩනැගිල්ල 1822 ත් 1889 ත් අතර කාලය තුල බ්‍රසීල රාජකීය පවුලකට නිවස්නය වූ මාලිගාවකි. මෙහි බ්‍රසීල ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1892 වසරේදීය.

බ්‍රසීල කෞතුකාගාරය නිල වශයෙන් ස්ථාපිත කරන ලද්දේ බ්‍රසීලය, පෘතුගාලය හා ඇල්ගාව්ස්හි රජු වූ IV ව ජොආවෝ රජු විසිනි. ඒ “බ්‍රසීල රාජකීය කෞතුකාගාරය” යන නමිනි. බ්‍රසීල රාජධානිය තුළ විද්‍යා පර්යේෂණ දිරිගැන්වීම එහි අරමුණ විය. එලෙසින් ඇරඹුණු බ්‍රසීල කෞතුකාගාරයට දිගු කාලාන්තරයක් තිස්සේ බ්‍රසීල රාජකීයයන්ගේ නොමද සහයෝගය ලැබිණ.

කෙමෙන් මානව විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව, පුරාවිද්‍යාව වැනි විෂයයන් වල වටිනා කියන සම්පත් ගබඩාවක් ලෙස වර්ධනය වූ මෙම කෞතුකාගාරයේ කෞතුක වස්තු එකතුව තුළ ඊජිප්තු මමී, සහ උද්භිද විද්‍යාත්මක ෆොසිල පවා වීය. මෙය දකුණු ඇමරිකාවේ මානව විද්‍යා හා ස්වභාවික විද්‍යාවන් පිළිබදව වූ විශාලතම හා හොදම කෞතුකාගාරය ලෙස නම් වී තිබිණ.

රියෝ ද ජැනයිරෝ ෆෙඩරල් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පර්යේෂණ ආයතනයක්ද වූ මෙහි රියෝහි ඇති විශාලතම විද්‍යා අධ්‍යයන පුස්තකාලයද විය.

මෙතරම් වැදගත් කමක් තිබුණු බ්‍රසීල ජාතික කෞතුකාගාරය 2014 වසර වන විට විනාශ වෙන්නට පටන් ගෙන තිබිණ.

2014 වසරේදී බ්‍රසීල කෞතුකාගාරයට එරට රජයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය කප්පාදු කර තිබිණ. මේ නිසාම වසරකට ඩොලර් 520,000 ක් පමණ වැය කරමින් කළ යුතු කෞතුකාකාගරයේ නඩත්තු කටයුතු අඩාල විය. කෞතුකාගාරයේ කිසිදු අලුත්වැඩියාවක් සිදු නොවුණු තරම්ය. බිත්ති වල තීන්ත පතුරු ගැලවෙමින් සහ බිත්ති කඩදාසි ගැලවෙමින් එහි වූ විදුලි රැහැන් පවා මතුව තිබුණු බව බොහෝ දෙනා පවසති.

2018 වසරේ ජූනි මාසයේ එහි 200 වන සංවත්සරය වන විට මෙම කෞතුකාගාරය පැවතුනේ මුළුමනින්ම අත් හැර දැමුණු තත්වයක බව පැවසෙයි.

2018 සැප්තැම්බර් මස දෙවෙනි දින ඇතිවුණු ගින්නෙන් මෙහි වූ කෞතුක භාණ්ඩ එකතුවෙන් ඉතා සුළු ප්‍රමාණයක් බේරා ගැනීමට හැකි වුවද, 90% කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.

මිලියන විස්සකට ආසන්න කෞතුක භාණ්ඩ ගින්නෙන් පිලිස්සී විනාශ වී ඇති නමුත් වෙනම ගොඩනැගිල්ලක ගබඩා කොට තැබුණු භාණ්ඩ ගින්නෙන් බේරී ඇත.

ගින්න ඇතිවුණු හේතුව තවමත් නිශ්චිත නැත. ගින්න මැඩ පැවැත්වීමට මුලින් පැමිණි ගිනි නිවන සේවකයින් හට ඒ සදහා ප්‍රමාණවත් ජල සැපයුමක් නොතිබුණු බව පැවසෙයි. රියෝ හි ගිනි නිවීම් ප්‍රධානියා පවසන්නේ ආසන්නතම ගිනි නිවීම් මධ්‍යස්ථාන දෙකකටම මේ සදහා ප්‍රමාණවත් ජලය නොතිබුණු බව හා ඒ හේතුවෙන් ගිනි නිවීම් භටයින්ට ආසන්නයේ වූ ජලාශයකින් වතුර පොම්ප කර ලබා ගන්නට සිදුවුණු බවත්ය.

ඊජිප්තු මමි, පිරමිඩ තුලින් ලබා ගත් කෞතුක වස්තුන් පමණක් නොව, වසර එකොලොස් දහසකට වඩා පැරණි මානව හිස් කබල්ද, ශාක පොසිලද මෙම කෞතුකාගාරයේ වීය.

“කෞතුකාගාරය ගින්නෙන් දැවීමෙන් ඇතිවුණු පාඩුව තක්සේරු කළ නොහැකි තරම්. එමෙන්ම එය කවදාවත් පුරවන්නට නොහැකි හිඩැසක්. “ බ්‍රසීල ජනපති මිචෙල් ටෙමෙර් පවසයි. “වසර දෙසීයක් තිස්සේ එකතු කළ විද්වතුන්ගේ පර්යේෂකයින්ගේ මහන්සියත් දැනුමත් අප රටට නැති වුණා.”

“මේ අපට අහිමිව ගියේ යලි කවදාවත් හමු නොවන ආකාරයේ කෞතුක වස්තූන් එකතුවක් පමණක්ම නොවෙයි. අවුරුදු දෙසීයක් තිස්සේ විද්‍යා පර්යේෂන ආයතනයක කළ වටිනා පර්යේෂණයන් රැසක්ද ඒ අතර වෙනවා. ලතින් ඇමරිකාවේ වැදගත්ම සුවිශේෂීම පර්යේෂණයන් ඒ අතර වෙනවා.” දෙනෙතේ පිරුණු කදුලින් යුතුව ඇවිලෙන කෞතුකාගාරය දෙස බලා සිටින කෞතුකාගාර සේවකයින්, විද්වතුන් හා පර්යේෂකයින් පවසයි. “දැන් ඒ හැම දෙයක්ම ඉවරයි. අපේ මහන්සිය, අපේ බලාපොරොත්තු සහ අපේ ජීවිත තමයි ඒ දැවුණේ.”


නිම්මි මුදිතා හේරත්

1 comment: