Saturday, December 1, 2018

ටිකිරි මොලේ

එක දුප්පත් ගොවියෙක් උන්නා.
එක කන්නයක පෑවිල්ල නිසා ඒ ගොවියගෙ කුඹුර පාලුවුණා..
ගොවියා ගමේ පොලී මුදලාලිගෙන් ණයට සල්ලි අරන් ඊලග කන්නෙත් කුඹුර කළා. ඒ කන්නෙදි ගොයම මැස්සො බීලා දැම්මා.
ගොවියා පොලි මුදලාලිගෙන් තවත් ණයක් ගත්තා. මෙදා සැරේ නං වැඩේ ගොඩ කියලා හිතාගෙන ඉන්නකොට ගං වතුරක්.. කුඹුර සේදිලාම ගියා..
ණය ගෙවා ගන්ට විදිහක් නෑ.. ගොවියා අන්ත අසරණ වුණා. ගොවියා හිතුවෙ ණයට හිලව්වට පොලී මුදලාලි කුඹුර සින්න කරගනීවි කියලා...
එ්ත් පොලී මුදලාලි කිව්වෙ වෙන කතාවක්...
“උඹේ මේ කුඹුරු කෑල්ල ඒ හැටි වටින්නෙ නෑ.. උඹ මගෙං ගත්ත ගාණට පිරිමැහෙන්ඩ මේ වගේ කුඹුරු කෑලි දෙකක් තිබ්බත් මදි...“
“දැන් මොකෑ මුදලාලි මං කොරන්නෙ..?“ ගොවියා අැහුවා.
“වෙන මොකද්දෑ ඉතිං.. නඩු කියන්ටයි වෙන්නෙ..“ මුදලාලි කිව්වෙ කපටිකමට.. ගොවියගෙ දෝණියැන්දැ හොද ඇහැට කණට පේන ලමිස්සි.. පොලී මුදලාලි ඔය කෙල්ල දිහා ඇහැ ගහගෙනයි උන්නෙ.. පොලී මුදලාලිට හිතුණා මේක තමයි හොදම වෙලාව කියලා...
“අනේ එහෙම කරන්ට එපා මුදලාලි.. ඔය නඩු හබ වලට පැටලිලා කොහොමදෑ... නඩු කියන්ටත් අතේ සල්ලි තියෙන්ට එපාද..“ ගොවියා පින්සෙන්ඩු වුණා...
“හරි එහෙනං.... උඹ කියන හංදා.... අපි මේක ගොඩිං බේර ගම්මු.. උඹ මගෙන් ගත්ත සල්ලි වලට හිලව් වෙන්ට උඹේ දෝණියැන්ද මට කාර බන්දලා දීපන්...“ පොලී මුදලාලි කිව්වා.
ගොවියා තක්කු මුක්කු වුණා... පොලී මුදලාලි මැදිවයසත් පහු කරපු මිනිහෙක්.. ඒ පොඩි එකීව මේ මිනිහට කාර බන්දලා දෙන්නෙ කොහොමද... ඒ මදිවට මූනෙ හැටි... බලන්ට අජූවයි...
ඒත් ඉතිං කරන්ට දෙයක් නෑ නෙව.. ගොවියා ගෙදර ගිහින් මේ කතාව දෝණියැන්දැට කිව්වා.... දෝණියැන්දෑ එක පයින් අකමැතියි...
දෝණියැන්දැගෙ අකමැත්ත ගොවියා ගිහින් පොලී මුදලාලිට කිව්වා.
“හොදයි එක්කරගෙන වරෙංකො උඹේ දෝණියැන්දැව..“ පොලී මුදලාලි කිව්වා.. ගොවියා දුවත් එක්කරගෙන පොලී මුදලාලි ගාවට ගියා..
“නගා... අපි මේක ගොඩිං බේරගම්මු... මං අතේ මේ තියන මල්ල උඹට පේනවා නේද..?“ පොලී මුදලාලි ගොවි දූගෙන් ඇහුවා. ගොවි දූ ඔලුව වැනුවා.
“මම දැන් මේ බිමිං ගල් කැට දෙකක් අරන් මේ මල්ලට දානවා.. එක ගලක් සුදු පාට ගලක්.. අනික කලුපාට එකක්.. උඹ මල්ලට අත දාලා එයින් එකක් තෝරගන්ට ඕනැ..“
ගොවියත් දුවත් පොලී මුදලාලී කියන දේ උවමනාවෙන් අහං උන්නා...
“උඹ අතට ගත්තෙ කලුපාට ගල් කැටේ නං... උඹ මාව කසාද බදින්ට ඕන.. එතකොට උඹේ අප්පොච්චගෙ ණය ගණුදෙනු ටික මං අතඇරලා දානවා..“ පොලී මුදලාලි කිව්වා.
ගොවි දුව ඔලුව වැනුවා.
“උඹ අතට ගත්තෙ සුදු පාට ගල් කැටේ නං.. උඹ මාව කසාද බදින්ට ඕනැන්නෙත් නෑ.. හැබැයි මං උඹේ අප්පොච්චාගෙ ණය තුරුස් ටිකත් අහෝසි කරලා දානවා.. ඒක ඉතිං උඹේ වාසනාව අනුව වෙන දෙයක්.... එහෙම නැත්තං අපි ඉතිං නඩු කියමු.. මට නං ඔය කෝක උනත් එකයි..“ පොලී මුදලාලි කිව්වා.
ගොවි දුව ඔලුව වැනුවා.
පොලී මුදලාලි බිමට නැවිලා ඉවසිල්ලේ ගල් කැට තේරුවා.. ගොවියා අහක බලන වෙලාවක් බලලා පොලී මුදලාලි ගල් කැට දෙකක් අර මල්ලට දාගත්තා. ඒත් ගොවි දුව ඒක හොදටෝම දැක්කා.. පොලී මුදලාලි මල්ලට දාගත්තේ කලුපාට ගල් කැට දෙකක්.. සුදු ගල් කැට එකක්වත් දාගත්තේ නෑ කියලා...
හා... දැං කියමුකො අර ගොවිදූ මොනවා කොරන්ට ඇතිද කියලා...?
බිමට නැවිලා හීන් සීරුවේ සුදු ගල් කැටයක් අහුලගන්ට ඇතිද... නැත්තං ඔය මල්ලෙ තියෙන්නේ කලු ගල් කැට දෙකක් විතරයි කියලා කියන්ට ඇතිද..?
නෑ.. ඒ කෙල්ල ඔය මොකුත් කළේ නෑ....
සද්ද නැතිවම ඉදලා... පොලී මුදලාලි කිව්වාම ගිහින් ගොවියටත් පේන්ට අර මල්ලට අත දාලා එක ගල් කැටයක් අතට ගත්තා.. අතට අරන් අල්ල දිග ඇරලා බලන්ටත් කලින් අතේ තිබුණ ගල් කැටේ බිමට වැට්ටුවා... ඒක පෙරලිලා ගියා.. බිම තිබුණ අනිත් ගල් කැට ගොඩ උඩ මේ ගල් කැටේ කොහොම කියලා හොයන්ටද..
“දැන් මොකක්ද කරන්නෙ දුවේ..?“ ගොවියා ඇහුවා.
“කමක් නෑ අප්පච්චි.. අපි බලමුකො මුදලාලි අතේ තියන මල්ලෙ ඉතිරි වෙලා තියෙන්නේ මොන පාට ගල් කැටේද කියලා.. එතකොට හිතා ගන්ට ඇහැකිනෙ මං අරගත්තෙ මොන පාට එකද කියලා...“ ගොවි දුව කිව්වා.
ඒ පාර කට උත්තර නැති වුනේ පොලී මුදලාලිට...
මල්ලෙ ඉතිරි වෙලා තියෙන්නෙ කලුපාට ගල් කැටයක්නෙ...
................................................................................
හැම ප්‍රශ්නෙකටම විසදුමක් ප්‍රශ්නෙත් එක්කම තියනවා...
කරන්න ඕන වෙන්නෙ ටිකක් වෙනස් විදිහට හිතන එක විතරයි...

No comments:

Post a Comment