Saturday, November 24, 2018

ඒක හැබෑම ආදරයක්ද.?



ටජ් මහල් කතා - 1

අපි අහලා තියෙන හැටියට නම් සාජහාන් අධිරාජ්‍යයා ටජ්මහල හදන්නෙ තමන්ගෙ දේවිය මුම්ටාස්ට තිබුණ ආදරය හින්දා..
ඒත් ඒක ඇත්තම ආදරයක්ද..?
ඔන්න මේ කාරණා වලින් හිතල බලමු.
මුම්ටාස් දේවියගෙ ඇත්තම නම ඒක නෙවෙයි. ඇගේ නම අර්ජුමාන් බානු බෙගම්. මේ අර්ජුමාන් කුමරිය හරි ලස්සනයි. බුද්ධිමත්. ඇය ධනවත් පර්සියානු වංශවතෙකුගෙ දුවක්. ඒත් රාජකීයයෙක් නම් නෙවෙයි.
අර්ජුමාන් කුමරියට වයස අවුරුදු දාහතරක් වෙද්දි මේ කුමරියගෙ අත ගන්න යෝජනා වෙච්ච කෙනෙකුත් හිටියා. සමහර විට කුමරිය එ් යෝජිත කෙනාට ආදරය කරන්නත් ඇති.
ඒත් අහම්බෙන් වගේ ඒ වෙනකොට රට පාලනය කරමින් හිටපු ජහාන්ගීර් අධිරාජ්‍යයාගේ පුතා කුරාම් කුමාරයා, ඒ කියන්නේ පසු කාලීනව සාජහාන් අධිරාජ්‍යයාට මේ කුමරියව දකින්න ලැබුණා. කුමරියගෙ ලස්සන නිසා කුරාම් කුමාරයාගෙ හිත බැදුණා. ඔහුට මේ කුමාරිය විවාහ කරගන්න උවමනා වුණා.
එතකොට අර යෝජනා කරලා තිබුණු කුමාරයා..?
අර්ජුමාන් කුමරියව කුරාම් කුමාරයාගේ හිතට අල්ලපු එකෙන් වුණේ අර්ජුමාන් කුමාරියව විවාහ කරගන්න තීන්දු කරලා හිටපු තරුණයාට කුරාම් කුමාරයාගෙන් මැරුම් කන්න සිද්ධ වෙච්ච එක..
ඔය විදිහට අර්ජුමාන් කුමරියව සාජහාන් විවාහ කරගන්නේ ඇගේ පළමු සැමියාව ඝාතනය කරලා.
අර්ජුමාන් කුමරියගේ විවාහය කුමාරයා එක්ක කරන්න ඕන කියලා තීන්දු වෙන්නේ 1607 දී.
ඉතින් මේ අර්ජුමාන් කුමරිය (මුම්ටාස් දේවිය) එක්ක විවාහය තීන්දු වෙලා තියෙද්දි තමයි සාජහාන් රජතුමා තමන්ගේ පළමු බිරිද විදිහට රජ පෙලපතකින් පැවත එන කන්ධාරි බෙගම් කුමරියව විවාහ කරගන්නේ.
ඊට පස්සේ ප්‍රසිද්ධ මෝගල් අමාත්‍යවරයෙකුගෙ දුවක් වෙන ඉස්සුන් නිස්සා බෙගම් කුමරියවත් තමන්ගෙ දෙවෙනි බිරිද විදිහට විවාහ කරගන්නෙත් මේ විවාහ ගිවිසුම තිබියදීමයි.
ඉතින් අර්ජුමාන් කුමරියට සිද්ධ වෙන්නේ ඔය තරම් ආදරේ කළා කියන සාජහාන් අධිරාජ්‍යයාගේ තුන්වෙනි බිරිද වෙන්න තමයි.
ඒ ඇය සාමාන්‍ය පවුලකින් පැවතගෙන එන කෙනෙක් නිසා වෙන්න ඇති. ඒත් ඉතින් ඔය තරම්ම ආදරයක් තිබුණානම් අධිරාජ්‍යයෙකුට බැරිද පවුල් පසුබිම් නොසලකා අරින්න.?
ඇයව විවාහ කරගත්තාට පස්සේ සාජහාන් රජතුමා ඇයට මුම්ටාස් මහල් කියලා නමක් දෙනවා. ඒකේ තේරුම "මාලිගය ආලෝකවත් කරන මැණික" කියන එකලු.
බිසෝවරු හත් දෙනෙක්, අන්තංපුර කාන්තාවො දෙදහසක් ඉන්න මාලිගයක් ආලෝක කරන මැණිකක් වෙලා මුම්ටාස් දේවිය සතුටින් ඉන්න ඇතිද.?
සාජහාන්ගේ ආදරය ගැන කතා කරන අය කියන තවත් දෙයක් තමයි
තමන් නැවත විවාහ වෙන්නේ නෑ කියලා සාජහාන් රජු මුම්ටාස් මහල් දේවියගේ මරණ මංචකයේදී පොරොන්දු වුණාලු.
මරණ මංචකයේදී පොරොන්දු වුණාට වැඩක් තියෙනවද.?
සාජහාන් රජතුමා එයාගෙ හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි බිරින්දෑවරු විවාහ කරගන්නේ මුම්ටාස් මහල් දේවිය හොද යහතින් ජීවත් වෙලා ඉදිද්දිමනෙ..
ඒ විතරක් නෙවෙයි
සාජහාන් අධිරාජ්‍යයා විනෝදාංශයක් විදිහට තමන්ගේ රාජ්‍යයේ උන්නු ලස්සන යුවතියන් තමන්ගේ අන්තංපුරයට එකතු කරපු බවත් කියවෙනවා. ඒ විදිහට ඔහුගෙ අන්තංපුරයට එකතු කරගත්තු තරුණියන් ගණන දෙදහසකටත් වැඩි බව සටහන් වෙනවා. (අන්තංපුර කතන්දර වෙනම වෙලාවක කියන්නම්.)
මුම්ටාස් දේවිය මිය යන්නෙ ඇගේ දාහතර වෙනි දරුවා ලැබෙන්න ගිහින්. අධික ලෙස දරුවන් වැදීම නිසා දුර්වල වුණ ශරීරය නිසා.
මුම්ටාස් දේවිය සාජහාන් රජු එක්ක විවාහ වෙලා ගතකළේ අවුරුදු දහ නමයයි. ඒ අවුරුදු දහනවයට දරුවන් දාහතර දෙනෙක්..
ඒ කියන්නේ මේ විවාහ ජීවිතය ඇතුලේ වැඩි හරියක් මුම්ටාස් දේවිය ගැබිණියක්.
සාජහාන් රජතුමා ඔය තරම් ඇයට ආදරේ කළානම් තමන්ගේ දේවිය එහෙම දරුවන් වදන යන්ත්‍රයක් කරගනීවිද.?
බිහි කරන හැම දරුවෙක් ගාණෙම දේවියගෙ ශරීරය දුර්වල වෙන විදිහ සාජහාන් රජතුමා දැක්කෙ නැද්ද.? ඇයව ඒ තත්වයෙන් බේරගන්න මහා අධිරාජ්‍යයට කරන්න දෙයක් තිබුණෙම නැද්ද.?
ඉතින් ඇය මියගියා.
මියගිය මුම්ටාස් දේවියගේ අඩුව පුරවන්න කවදාවත් කාටවත් බැරි වේවි කියලා සාජහාන් වැලපුණාලු.
ඒත් මුම්ටාස් දේවිය මියගියාගෙන් පස්සේ හිස්වෙන බිසෝ තනතුරට මුම්ටාස් දේවියගේම සහෝදරියව පත් කරගත්තාලු. මුම්ටාස් මරණ මංචකයේ ඉදිද්දිම මුම්ටාස් දේවියගෙ නංගී එක්ක ආදරෙයෙන් බැදුණාලු.
මුම්ටාස් නැති අඩුව කවදාවත් පිරිමැහෙන්නෙ නෑ කියලා කීවත්
ඒ අඩුවත් පිරිමහගන්න තවත් කෙනෙක් ඔහු තෝරගත්තා.
ඒ තමන්ගෙම දියණියක්. ඇය ජහාන් අරා.
ජහාන් අරා සාජහාන් රජුගේ සුජාත නොවුණු දියණියක්.
තමන්ගේ සහජාත නොවන දුවක් එක්ක ලිංගිකව හැසිරෙන්න කුරානයෙන් තහනමක් නෑ කියලා කියනවනෙ.
ඉතින් සාජහාන් රජු ජහාන් අරාව තමන්ගේ අනියම් බිරිදක් කරගත්තා.
හැබැයි ඇයව කවදාවත් විවාහ කරගත්තේ නෑ.
"තමන් වැවූ ගස් වල ගෙඩි කඩන්න උයන්පල්ලෙකුට තහනම් වෙන්නෙ නෑ" කියලා තමයි සාජහාන් රජතුමා ඒ ගැන කියලා තිබුණෙ..
ඉතින් මට හිතෙන විදිහට
සාජහාන් මුම්ටාස් ප්‍රේම කතාව
අධිරාජ්‍යයෙක් වෙනුවෙන් ලියවුණ ලස්සන ප්‍රශස්තියක් මිසක් හැබෑම ආදර කතාවක් නම් නෙවෙයි...

ඉතිරි කොටස පස්සෙ....

No comments:

Post a Comment