Tuesday, December 4, 2018

හිට්ලර් පෙම් කළ යුදෙව් දැරිය


පුංචි රෝසාට උපන්දින සාදයකට ආරාධනා ලැබිණ.
උපන්දිනය සාදය යෙදී තිබුණේ 1933 අප්‍රේල් විසි වෙනිදාටය. මේ උපන්දින සාදය එක් විශේෂ පුද්ගලයෙකුගේය.
රෝසා බර්නයිල් නිනෝ නම් දැරියට මේ උපන්දින සාදයට ආරාධනා ලැබෙන්නේ ඇගේ උපන්දිනය යෙදී ඇත්තේත් එදිනටම වන බැවිනි.
අර විශේෂ පුද්ගලයාට එදිනට අවුරුදු හතලිස් හතරක් සම්පූර්ණ වෙයි. ඒ දිනට රෝසාගේ වයස අවුරුදු හතකි.
තමන්ගේ උපන්දින සාදයට පැමිණි මේ පුංචි අමුත්තිය දුටු මනතින්ම අර විශේෂ පුද්ගලයාට ඇය කෙරේ මහත් සෙනෙහසක් ඇති විය. මේ දෙදෙන වැඩි වේලා යන්නට කලියෙන්ම හොද මිතුරන් බවට පත් වූහ.
පුංචි රෝසා ඒ විශේෂ පුද්ගලයාට “අන්කල්” ලෙසින් අමතන්නට වූවාය. ඔහු රෝසාට “මගේ ස්වීට්හාර්ට්” ලෙසින් අමතන්නට පටන් ගත්තේය.
මේ දෙදෙනාගේ මිතුදමේ පළමු සැමරුම වූයේ උපන්දින සාදයේදී ගත් සේයාරුවකි.
අවුරුදු හතලිස් හතරක් වයසැති “අන්කල්” පුංචි රෝසාගේ කම්මුල මත මෘදු හාදුවක් තබන අයුරුද, පුංචි රෝසාගේ මුහුණ සතුටින් පිරුණු සිනාවකින් එළිය වී තිබෙන අයුරුද ඒ සේයාරුවේ අපූරුවට සටහන් විය.
මේ සේයාරුව පිටුපස අර විශේෂ පුද්ගලයා මෙසේ සටහන් කළේය.
“ආදරණීය කරුණාවන්ත රෝසා නිනෝට, ඇඩොල්ෆ් හිට්ලර් ගෙන්..
                                               1933 ජූනි 33 වන දින
                                                                මියුනිච් නුවරදීය.”
ඔව්. පුංචි රෝසාත් සමග මිතුරු වූ ඒ සුවිශේෂි පුද්ගලයා වෙන කවරෙකු හෝ නොව ලොව දරුණුතම ඒකාධිපති පාලකයා ඇඩොල්ෆ් හිට්ලර්ය.
හිට්ලර් නිතර නිතරම කුඩා දරුවන් සමග ඡායාරූප වලට පෙනී සිටි බව ඇත්තකි. ඒ හුදෙක් ප්‍රචාරක අරමුණු ඇතිවය. එහෙත් රෝසා නිනෝ ගැන නම් හිට්ලර්ගේ සිතේ තිබුණේ හැබෑම ලැදියාවකි.
උපන්දින සාදයෙන් වැඩි දවසක් යන්නට කලියෙන් රෝසා යුදෙව් සම්මිශ්‍රණයක් ඇති දැරියක් බව හිට්ලර් දැනගත් විට පවා ඔවුන් අතර ඇති බැදීම පළුදු වූයේ නැත.
රෝසාගේ අත්තම්මා යුදෙව් ගැහැණියකි. ඒ අනුව රෝසා “හතරෙන් එකක්” යුදෙව් ලේ ඇති දැරියකි. එනිසා 1933 ජර්මනියේ වූ වාර්ගික නීති වලට අනුව නම් රෝසා පිරිසිදු ජර්මානු ජාතිකයෙක් නොවේ. ඇය යුදෙව් දැරියකි.
රෝසාට “පිරිසිදු ජර්මන් ලේ” නැති බව දැනගත් විටදී වුවද හිට්ලර් රෝසාගේත් ඔහුගේත් අපූරු මිත්‍රත්වය බිද දැම්මේ නැත. එහෙත් මේ බව දැනගත් හිට්ලර්ගේ පෞද්ගලික ලේකම්වරයා වූ මාර්ටින් බෝර්මාන් රෝසාටත් ඇගේ මවටත් හිට්ලර්ව මුණ ගැසීමට තහංචි පැනවීය.
ඒ තීරණයට හිට්ලර් මනාප වූයේ නැත.
“මගේ හැම සතුටක්ම විනාශ කරලා දාන්න මේ මිනිස්සුන්ට තියෙන්නෙ සහජ දක්ෂතාවයක්නෙ..” කියමින් බෝර්මාන්ගේ තීරණයට අමනාපය දැක්වූ හිට්ලර් රෝසා සමග වූ මිතුදම දිගින් දිගටම පවත්වාගෙන ගියේය.
1938 අවුරුද්ද වන තෙක්ම යුදෙව් ජාතික“පුංචි ස්වීට්හාර්ට්” සහ යුදෙව්වන් මිලියන ගණනක් සමූල ඝාතනය කළ “හිට්ලර් අන්කල්” අතර නොකඩවා ලියුම් ගනුදෙණු සිදු විය.
එහෙත් ඔවුන් අතර වූ මේ මිතුදම බිද හෙලන්නට හිට්ලර් වටා සිටි නාසි නිලධාරින් විවිධ උත්සාහ දැරූහ. හිට්ලර් හා මේ පුංචි දියණියගේ සේයා රූ කිසිවක් ප්‍රසිිද්ධ නොකරන මෙන් ඡායාරූප ශිල්පී හෙයින්රිච් හොෆ්මාන්ට, හිට්ලර්ගේ පෞද්ගලික ලේකම් මාර්ටින් බෝර්මාන් විසින් අණ කර තිබිණ.
එනමුත් ඒ නියෝගයද නොතකා හොෆ්මාන් තම පොත් පත් වල සහ ප්‍රකාශන වල රෝසා නිනෝගේ සේයාරුව නිරතුරුවම ඇතුලත් කළේය.
රෝසාගේත් හිට්ලර්ගේත් මිතුරුදම ඇරඹී වසර හයකට පසුව දෙවන ලෝක යුද්ධය ඇරඹිණ. හිට්ලර් යුදෙව් ජාතිකයින්ගේ සියළු වෙලද සැල් තහනම් කොට, සියළුම ආකාරයේ රැකියා වලින් යුදෙව්වන් නෙරපා හැරියේය. සියළුම යුදෙව්වන් මරා දමා ජර්මනියේ “වාර්ගික පිරිසිදු කිරීමක්” කරන්නට කටයුතු කළ හිට්ලර්ගේ නියමයන් යටතේ මරා දැමුණු යුදෙව්වන් සංඛ්‍යාව මිලියන හයක් ඉක්මවීය.
එසේ වුවද ඔහුගේත්, පුංචි යුදෙව් දැරිය රෝසාගේත් මිතුදමට නම් එයින් කැළලක් නොවීය.
යුද සමයේදීී මිලියන ගණනක් යුදෙව්වන්ට දිවි අහිමි වූවාක් මෙන්ම රෝසාටද දිවි ගලවා ගන්නට නොහැකි වීය. යුද්ධය ඇරඹී වසර පහකින් කොදු නාරටියට පෝලියෝ රෝගය වැලදීමෙන් රෝගී වූ රෝසාද මිය ගියාය. එ් වන විට ඇගේ වයස අවුරුදු දාහතක් විය. ඇයගේත් හිට්ලර්ගේත් මිතුදම ඇරඹී වසර දහයක් ගෙවී ගොස් තිබිණ.
ඒ මිතුදම ඇරඹුණු දා ගත් සේයාරුව එයින් වසර දා හතකට පසුව ඡායාරූප ශිල්පී හෙන්රිච් හොෆ්මාන් විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබිණ.
“මේ පුංචි දැරියගේ යුදෙව් ලේ ගැන අවට සිටියවුන් වද වෙන්නට පෙරාතුව
හිට්ලර්ව වඩාත් සතුටට පත් කළ කාරණය වූයේ ඇගේ මුහුණ දකින්නට ලැබීමයි.” 
යනුවෙන් හොෆ්මාන් ඒ සේයාරුවට යටින් සටහන් කොට තිබිණ.
මේරිලන්ඩ්හි පැවති “ඇලෙක්සැන්ඩර් ඓතිහාසික භාණ්ඩ වෙන්දේසියේදී” මෙම දුර්ලභ ඡායාරූපය ඇමරිකානු ඩොලර් දස දහසකට මිල නියම වී තිබිණ.

නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ

No comments:

Post a Comment