Thursday, December 13, 2018

ඉස්‌ලාම් ISIS ත්‍රස්‌තයින්ගේ ලිංගික වහලියෝ


මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්‌ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බවට පත් කිරීම ඉස්‌ලාමීය රාජ්‍යය හෙවත් අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය තුල සිටින අනෙකුත් ආගමිකයන්ට මෙන්ම ශියා මුස්‌ලිම්වරුන්ටද, අන්තවාදී නොවන මුස්‌ලිම්වරුන්ට ද ඔවුන්ගෙන් එල්ල වන තර්ජන බිහිසුණුය.
අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත්පත් කරගන්නා ඉරාකයේ නගර වල සිටින කතෝලික මෙන්ම කුර්දි හා යසිදි ජාතිකයන්ටද අත් වන්නේ ශෝචනීය ඉරණමකි. මෙසේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගර හෝ ගම්වල කතෝලික කුර්දි හෝ යසිදි ජාතික පිරිමින්ට එක්‌කෝ මුස්‌ලිම් ආගමට හැරී ශාරියා නීතියට හිස නවාගෙන ජීවත් වෙන්නට හැකිය. නැතිනම් වෙඩි කා මිය යා හැකිය. එහෙත් අල්ලා ගන්නා කාන්තාවන්ට නම් ඇත්තේ එකම ඉරණමකි.
අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගරවල සිටින කාන්තාවන් සහ ගැහැණු දරුවන් වයස්‌ බේදයකින් තොරව ඔවුන්ගේ අත්අඩංගුවට ගැනෙයි. ඉන්පසුව ඒ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදු වෙන්නේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් සදහා ලිංගික වහලියන් ලෙස සේවය කරන්නටය.
මේ ලිංගික වහලියන් පිළිබද පුවත මුලින්ම අනාවරණය වූයේ උතුරු ඉරාකයේ සින්ජාර් නගරය අත්පත් කරගැනීමේදී අත්අඩංගුවට පත් වී ලිංගික වහලියන් ලෙස ඔවුන් යටතේ කල් ගෙවු කාන්තාවන් කිහිප දෙනෙකු ඔවුන්ගෙන් පලාවිත් ඒ පිළිබදව මාධ්‍යයට හෙළි කිරීමෙනි. මෙසේ ලිංගික වහලියන් ලෙස අත්අඩංගුවට ගන්නා ගැහැණු දරුවන් හා කාන්තාවන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් ඔවුන්ගේ වයස්‌ කාණ්‌ඩය අනුව හා පෙනුම අනුව කණ්‌ඩායම් වලට බෙදනු ලබයි. ඉන්පසුව ඔවුන්ගෙන් කොටසක්‌ මැදපෙරදිග රටවල ධනවතුන් වෙනුවෙන් ලිංගික වහලියන් ලෙස අලෙවි කරති. මේ ලිංගික වහලියන් ලෙස මේ යසිදි කාන්තාවන් හා කුර්දි කාන්තාවන් අලෙවි වෙන්නේ සවුදි අරාබියේ ප්‍රසිද්ධ වෙන්දේසිවලය. ලිංගික වහළියන් විකිණීමේදී සහ ඔවුන්ව මිලදී ගන්නා අය විසින් පිලිපැදිය යුතු ශාරියා නීතියට අනුකූල යෑයි කියන නීති මාලාවක්‌ද, ලිංගික වහලියන් විකිණීම සදහා වන මිල ගණන් ලැයිස්‌තුවක්‌ද අයි එස්‌ ත්‍රස්‌තවාදීන් විසින් අත් පත්‍රිකාවක්‌ ලෙස නිකුත් කොට ඇති බවද විදෙස්‌ මාධ්‍ය විසින් වාර්තා කරයි. මෙකී අත් පත්‍රිකාවට අනුව අවුරුදු එකත් නවයත් අතර වයසැති දැරියන් ඩොලර් 171 ක්‌ වැනි මුදලකට අලෙවි වන අතර අවුරුදු හතළිහට වැඩි වයසැති කාන්තාවන් ඩොලර් හතළිහක්‌ වැනි මුදලකට අලවි කරයි. මෙසේ යසිදි කාන්තාවන් හා දැරියන් ලිංගික වහලියන් ලෙස විකුණා ලබා ගන්නා මුදල් ඔවුන් තම සංවිධානයේ අරමුදල් ලෙස යොදා ගන්නා බවද වාර්තා වෙයි.
මේ කාන්තාවන්ගෙන් කොටසක්‌ ලිංගික වහලියන් ලෙස මැදපෙරදිග ධනවතුන්ට අලෙවි කරන අතරම තවත් කොටසක්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් ලෙස ඔවුන් වෙතද රඳවා ගනී. මේ වන විටත් මෙසේ අත්අඩංගුවේ රඳවාගෙන අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් නිරන්තරවම දූෂණයට ලක්‌ කරන කාන්තාවන් හා ගැහැණු දරුවන් සංඛ්‍යාව පන්දහසක්‌ පමණ වෙතැයි වාර්තා වෙයි.
අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ කාන්තාවන්ට සිදු වන්නේ බියකරු මරණයකට මුහුණ දෙන්නටය. ත්‍රස්‌තයන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ වරදට යසිදි කාන්තාවන් දහනව දෙනෙකු යකඩ කූඩුවක්‌ තුළ දමා පණ පිටින් පිලිස්‌සූ වීඩියෝවක්‌ අයි එස්‌ ප්‍රචාරක ජාලය විසින්ම යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ඇතුළත් කොට තිබිණ. මේ අමානුෂික වධ හිංසාවලට ලක්‌ වෙමින් නිතිපතා ත්‍රස්‌තවාදීන් අතින් දූෂණය වෙමින් ලිංගික වහලියන් ලෙස රදවාගෙන උන් යසිදි කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ග්‍රහණයෙන් පලා විත් තමන් ලැබූ බිහිසුණු අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකොට ඇත.
මේ එවන් කාන්තාවන් කිහිප දෙනෙකු මාධ්‍යයට හෙළි කළ ඔවුන්ගේ අත්දැකීම්ය.
2014 අගෝස්‌තු මාසයේදී උතුරු ඉරාකයේ සිනිජාර් නගරය අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් පත් කරගනු ලැබිණ. එහිදී අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අත්අඩංගුවට පත් කාන්තාවන් සංඛ්‍යාව පන් දහසක්‌ පමණ වෙයි. "හැනන්" ද එයින් එක්‌ කාන්තාවකි. "හැනන්" ඇයගේ සැබෑ නම නොවේ. ඇය යසිදි ජාතික කාන්තාවකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි. එස්‌. ත්‍රස්‌තයන්ගෙන් පැන ආ පසුව ඇය මාධ්‍යයට කීවේ මෙවැන්නකි. "එදා අගෝස්‌තු පහළොස්‌ වෙනිදා. මම ගෙදර එනකොට ගෙදර අය නගර අත් ඇරලා යන්න බඩු පොදි බදිනවා. අයි. එස්‌. ත්‍රස්‌තවාදියො අපේ නගර කිට්‌ටුවටම ඇවිත් තිබුණා. අපි අපිට ගෙනියන්න පුළුවන් බඩු මුට්‌ටුත් අරන් නගරය අත් ඇරලා යන්න පිටත් වුණා. ඒත් වැඩක්‌ වුණේ නෑ.. ත්‍රස්‌තවාදියෝ සිනිජාර් නගරයෙන් පිටවෙන පාරවල් වහලා දාලා තිබුණා. එයාලගෙ ට්‍රක්‌ වලින්. අපි ගිය පාරේ ත්‍රස්‌තවාදියො විසි දෙනෙක්‌ විතර හිටියා. උන් අතේ තුවක්‌කු තිබුණා. අපි එක්‌ක ගිය පිරිමි අයව එවෙලේම ඒ තුවක්‌කු වලින් වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්‌සේ උන් අපිව අල්ල ගත්තා.
"දැන් උඹලා යන්නෙ මොසුල් වලට" කියලා උන් කිව්වා. ඊට පස්‌සෙ අපේ කොණ්‌ඩවලින් ඇදගෙන අපිව උන්ගේ වාහන වලට ගෙනිච්චා.
අපිව ගෙනිහින් දැම්මේ ලොකු ක්‍රීඩා ශාලාවකට. සති දෙකකට පස්‌සෙ අපිව තවත් ශාලාවකට ගෙනිච්චා. එතන යසිදි ගෑනු උදවිය දෙසීයක්‌ විතර හිටියා. ඒ තමයි වහල් වෙළෙදපොල. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ට එතැනට ඇවිත් තමන් කැමැති කෙල්ලක්‌ මිලදී ගන්න පුළුවන්. අපිට ඒ අයගේ මූණ දිහා බලන්න තරම්වත් ධෛර්යයක්‌ තිබුණෙ නෑ. අපි හිටියේ හොදටම බය වෙලා. ලිංගික වහලියක්‌ විදිහට පාවිච්චි කරපු ගෑණු ළමයෙක්‌ එතනට ඇවිත් එයාට සිද්ධ වෙච්ච හැම දේම අපිට කිව්වා. අපි තවත් බය වුණා. අපිව බය කරන්න උන් හැම තැනටම වෙඩි තිබ්බා. අපි අතරින් උන්ට කැමති කෙනෙක්‌ව බලහත්කාරෙන්ම අරන් ගියා. හැම තිස්‌සෙම අපි හිටියේ අඬ අඬා.. අපිට දිවි නසාගන්න ඕන වුණත් ඒකටවත් ක්‍රමයක්‌ තිබුණේ නෑ.. එක ගෑණු ළමයෙකුට නම් සියදිවි නසා ගන්න පුළුවන් වුණා. එයා එයාගේ අතේ මැජික්‌ කටුව කපා ගත්තා. එයාට උදව් කරන්නවත් එයාව බේරගන්නවත් අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ අපිට ඉඩ දුන්නෙ නෑ.. උන් අපිව වෙන කාමරේකට දාලා දොර වැහුවා. අර ගෑනු ළමයා මැරිලා ගියා. "ඒකට කමක්‌ නෑ. අපි මේ මිනිය කොහේට හරි විසි කරලා දාන්නං" කියලා අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ කිව්වා.
"යසිදි කියන්නේ මිත්‍යාදෘෂ්ඨිකයෝ.. උන්ට ජීවත් වෙන්න අයිතියක්‌ නෑ. උඹලාට ජීවත් වෙන්න ඕන නං මුස්‌ලිම් වෙයල්ලා" කියලා උන් අපිට කිව්වා.
වරින් වර එක එක අය අපිව අරන් ගිහින් දූෂණය කරලා වධ දීලා ආපහු ගෙනත් දැම්මා. අපි හත් දෙනෙක්‌ එක කාමරයක හිටියා. දවසක්‌ අපිව වෙන කාමරයකට දැම්මා. ඒ කාමරේ ප්ලාස්‌ටික්‌ ජනේලයක්‌ තිබ්බා. අපි අමාරුවෙන් ඒ ජනේලෙ ඇරගත්තා. ඒ ජනේලෙන් පැනගෙන අපි පුළුවන් තරම් වේගෙන් දිව්වා. අපිට අනිත් අයට උදව් කරන්න පුළුවන් කමක්‌ තිබුණේ නෑ.." හැනන් තමා අත්දුටු බිහිසුණු අත්දැකීම මාධ්‍යයට විස්‌තර කළේ එසේය.
"ෂාදී" ද සිනිජාර් නගරයෙන් අත් අඩංගුවට ගෙන ලිංගික වහලියක ලෙස රදවා ගත් තවත් යසිදි යුවතියකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි එස්‌ ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් පැන එන්නට ඇයට හැකි වුණේ මාස පහක්‌ තිස්‌සේ නිතිපතා දූෂණයට ලක්‌ වී බරපතළ ලෙසින් කායික අපයෝජනයට ලක්‌වීමෙන් පසුවය.
"උන් ආවෙ මහ රෑ.. අපිට පැනල යන්න විදිහක්‌ තිබුණෙ නෑ. උන් මුළු නගරයම වට කරලා තිබුණෙ. ත්‍රස්‌තවාදියො අපේ පිරිමි අයව අරන් ගියා. කොහේට ගෙනිච්චද කියලා අපි දන්නෙ නෑ.. ඊට පස්‌සෙ.. අවුරුදු දහතුනක විතර පිරිමි ළමයෙක්‌ දූවිලි පෙරාගෙන අඬාගෙන දුවගෙන ආවා. පිරිමි අය සේරම වෙඩි තියලා මැරුවා කියලා එයා කිව්වා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ. අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ තරුණ ගෑණු ළමයින්ව එක පැත්තකට වෙන් කරගත්තා. ඒ ගොල්ලො අපිව ටාල් අෆාර් කියන නගරයට ගෙනිච්චා. අපිට බොන්න වතුරවත් කන්න දෙයක්‌වත් දුන්නෙ නෑ.
සිරියාවට ගෙනියන කල්ම උන් අපිව තැනින් තැනට ගෙනිච්චා. රක්‌කා නගරයේදී උන් අපිව පොළව යට තිබුණ ගබඩාවකට දැම්මා. ඒ බිම් ගබඩාව හරිම කරුවලයි. දවල්ද රෑද කියලා අපිට තේරුණේ නෑ. උන් අපේ නම් කොල වල ලියලා අපේ බෙල්ලේ එල්ලුවා. අපිව විකුණන්න තිබ්බේ එහෙම ලේබල් ගහලා. අපෙන් අට දෙනෙක්‌ ඇලෙප්පෝ නගරයට එව්වා. මාවයි මගේ සහෝදරියවයි තවත් ගැහැණු කෙනෙකුවයි විශාල මන්දිරයකට විකිණුවා.
ඒකෙ හිටියෙ ඇමරිකානු මිනිහෙක්‌. එයා මට කිව්වා හොදින් නාලා පිරිසිදු වෙලා එයා එක්‌ක විවාහ වෙලා මුස්‌ලිම් ආගමට එන්න කියලා. මම දැනටමත් ගැබිණියක්‌ නිසා එයා එක්‌ක ලිංගිකව එකතු වෙන්න බෑ කියලා මම ඔහුට කිව්වා.
එයා මාව වෛද්‍යවරයෙක්‌ ළඟට එක්‌කගෙන ගියා. මම කිව්වේ බොරු කියලා වෛද්‍යවරයා මාව පරික්‌ෂා කරලා ඒ මනුස්‌සයාට කිව්වා. එයා මට හොදටම ගැහුවා. මගේ අත් දෙක යකඩ කම්බියකින් ගැට ගහලා එයා මාව දූෂණය කළා. අපි කීප වතාවක්‌ම පැනලා යන්න උත්සාහ කළා. ඒත් ඒ හැම වතාවෙදිම අහු වුණා. පැනලා යන්න ගිහින් අහු වුණ හැම වෙලාවකදීම අපිට නොසෑහෙන්න ගැහුවා. වධ දුන්නා. ඒත් ඇලෙප්පෝවෙ එහෙම පැනලා ගිය අය ඉන්න බව අපි දැනගෙන හිටිය නිසා අපි දිගින් දිගටම උත්සාහ කළා. අන්තිමේදී අපිට පැනලා එන්න පුළුවන් වුණා. ඒත් මගේ සහෝදරයො ගැන කිසිම තොරතුරක්‌ තවමත් මං දන්නෙ නෑ."අවුරුදු විසි දෙකක්‌ වයසැති නසීමා" ගේ කතාව ඊටත් වඩා බියකරුය. නසීමාද අගෝස්‌තු පහලොස්‌ වෙනි දින සිනිජාර් නගරයෙන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් අඩංගුවට ගත් වහලියකි.
"එතකොට උදේ එකොළහට විතර ඇති. අපි හිටියේ කෑම උය උයා. උන් අපේ නගරයට ඇවිත් අපිව අල්ලගත්තා. පිරිමි අයත් ගෑනු අයත් වෙන් කළා. පිරිමි අයව කොහේට අරන් ගියාද එයාලා ජීවතුන් අතරද නැද්ද කියලා අදටත් අපි දන්නෙ නෑ. ඊට පස්‌සෙ උන් අපි ලගට ආවා. උන් අපිට කිව්වා ඉස්‌ලාම් ආගමට හැරුණේ නැත්නම් අපේ බෙලි කපලා මරා දානවා කියලා. ඉන් පස්‌සේ උන් අපිව ඉස්‌කෝල ගොඩනැගිල්ලට ගෙනිච්චා. අපේ ළඟ තිබුණ සල්ලි, අපේ රත්තරන් බඩු හැම දේම කොල්ල කා ගත්තා.
මොසුල් නගරයේදී ෂේක්‌වරුයි එමීර් වරුයි අපිව බලන්න ආවා. ඒ ගොල්ලො ආවෙ අපිව මිලදී ගන්න. මාව මිලදී ගත්ත කෙනා මාව ටල් අෆාර් නගරයට අරගෙන ආවා. ඊට පස්‌සෙ බලහත් කාරයෙන් මාව කසාද බැදගත්තා. එදා රෑ මගේ අත් දෙකත් කකුල් දෙකත් ගැට ගහලා ඇස්‌ දෙකත් රෙදි පටියකින් බැන්දා. ඊට පස්‌සේ මහ දරුණු විදිහට මාව දූෂණය කළා.
එක තැනක ඉන්න ඉඩක්‌ මට ලැබුණේම නෑ. මොසුල්, බාෂිකා, බාæ, කෝජෝ, සිනිජාර් වගේ හැම නගරයකටම එයා මාව අරන් ගියා. එයා යන යන හැම තැනකටම මාවත් අරන් ගියා. මම දෙපාරක්‌ පැනලා යන්න හැදුවා. ඒත් ඒ දෙපාරම මාව අහුවුණා. පැනලා යන්න ගිහින් අහු වුණාම දවස්‌ තුනක්‌ එක දිගට මට පහර දෙනවා. සමහර වෙලාවට සතියක්‌ හමාරක්‌ තිස්‌සේම මට කිසිම කෑමක්‌ ලැබෙන්නෙ නෑ.. හැම තිස්‌සේම මාව කාමරේකට දාලා අගුළු දාලයි තියෙන්නෙ.. හරියට හිර ගෙදර ඉන්නවා වගේ. මොසුල් නගරයට ආපු එක වතාවක මම තීරණය කළා.. තවත් නම් ඉවසන්න බෑ. මැරෙන්න හරි මම පැනලා යනවාමයි කියලා. මම කළු අබායාවක්‌ ඇදගෙන පාරට පැනලා ආවා. පාරේ යන ටැක්‌සියක්‌ නවත්තලා ටැක්‌සි රියදුරාට මගේ කතාව කිව්වා. මම හිතුවේ එයා මාව පාවලා දෙයි කියලා. ඒත් එයා එහෙම කළේ නෑ. එයා මට උදව් කළා. එයා මගේ සහෝදරයට කතා කළා.. මං පහරන්නන් එක්‌ක නගරයෙන් පැනලා යන්න උදව් කළා. මාව පෙශ්මර්ගාවරු (කුර්දි සටන්කරුවන්) ලගට ගිහින් ඇරළුවා.
අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදියෙක්‌ පළවෙනි වතාවට මාව දූෂණය කරනකොට ඔහු මට කසයකින් හොදටෝම ගැහුවා. ඊට පස්‌සෙ මාව සෝදලා එයා එක්‌ක විවාහ වෙන්න කියලා බල කළා. ඒ ත්‍රස්‌තවාදියාගේ වයස අවුරුදු තිහක්‌. ඒත් ඒ වෙනකොටත් එයාට දරුවන් හතර දෙනෙක්‌ම හිටියා. මටත් කිව්වා එයා වෙනුවෙන් දරුවෙක්‌ බිහි කරන්න කියලා.
ඒ ත්‍රස්‌තවාදියා කළේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම් සම්බන්ධ වැඩ.. ඒ ගොල්ලො එක එක නගරවල පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරපු තැන් මම දැක්‌කා. අහස්‌ යානාවක සද්දෙ ඇහෙනකොට එයාලා මාව එළියට යවනවා. මාව දැක්‌කාම ඒ අහස්‌ යානා බෝම්බ දාන්නේ නැති වේවි කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති. නසීමා තමන් විදි හිරිහැර මාධ්‍යව්දීන් වෙත විස්‌තර කළේaඑසේය.
මෙලෙසින් අයි. එස්‌. ත්‍රස්‌ත ග්‍රහණයෙන් පැන ආ කාන්තාවන් ප්‍රමාණය හාරසියයක්‌ පමණ වන අතර මේ වන විටත් දිනපතා දරුණු ලෙසින් දූෂණය වෙමින් තවමත් අයි. එස්‌. ත්‍රස්‌තයින්ගේ අත්අඩංගුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව තුන්දහස්‌ පන්සියේ සිට පන්දහසක්‌ පමණ සංඛ්‍යාවක්‌ වෙතැයි විදෙස්‌ මාධ්‍යය පවසයි.
නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින
2017.01.22

ඇෆ්ගනිස්‌ථානය ලොවෙන් සඟවන නින්දිත රහස "බාචා බාසි"




ඒ උතුරු ඇෆ්ගනිස්‌ථානයේ දුෂ්කර ගම්මානයක විවාහ මංගල්ලයකි.

වෙලාව රාත්‍රී දොළහත් පසුවී ඇත.

මඟුල් ගෙදරක්‌ වුවද මනාලයාවත් මනාලියවත් පෙනෙන්නට නැත. එකම එක කාන්තාවක්‌වත් පෙනෙන්නට නැත. ඒත් මඟුල් ගෙදර හොඳටෝම සෙනගය. රැස්‌ව සිටින හැමෝම එක තැනකට එකතු වී සිටිති. හැමෝගේම අවධානය යොමුවී ඇත්තේ එක පිරිමි ළමයෙකු වෙතය. ඔහුගේ වයස අවුරුදු පහළොවටත් අඩුය. ඔහු පිරිස මැදට වී නටයි. ඔහු ඇඳ සිටින්නේ දිලිසෙන දිගු කාන්තා ඇදුමකි. කාන්තාවකගේ හැඩරුවම පෙනෙන සේ ව්‍යාජ පියයුරු යුගලක්‌ද පැලඳ සිටී. රතු සලුවකින් මුහුණද වසාගෙන සිටී.

නැටුම බලා උන් කිසිවෙකු ඔහු වෙත මුදල් නෝට්‌ටු දිගු කරයි. ඔහු නටන අතරතුරදීම ඒ මුදල් තම දත් වලින් ග්‍රහණය කරගනියි.

මේ ඇෆ්ගනිස්‌ථානයේ පැරණි චාරිත්‍රයකි. මේ චාරිත්‍රයේ නම "බාචා බාසි" ය. එහි අරුත "පිරිමි ළමුන් සමග ක්‍රීඩා කිරීම" හෝ "පිරිමි ළමුන්ගේ රංගනය" යන්නයි.

එහෙත් වර්තමානයේ මේ පැරණි චාරිත්‍රය දැඩි සේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන දුරාචාරයක්‌ බවට පත්ව ඇත.

ළමා අපයෝජනය, දූෂණය, හිංසනය හරහා ළමා ගණිකා වෘත්තිය දක්‌වා මේ චාරිත්‍රය අද වන විට දුරදිග ගොසිනි.

මේ බාචා බාසි වෘත්තිය පසුපස සැගව ඇත්තේ අඳුරු රහසකි. ඇෆ්ගනිස්‌ථාන රජය වුවද මෙය බාහිර ලෝකයෙන් වසන් කරගෙන තබා ගන්නට උත්සාහ කරයි.

බොහෝ විට බාචා බාසි වෘත්තිය සදහා යොමු කෙරෙන්නේ අවුරුදු දහයක්‌ දොලහක්‌ තරම් වන අඩු වයස්‌ පිරිමි දරුවන්ය. ඔවුන්ව ඒ සදහා යොමු කරවන්නේ ඔවුන්ගේ දැඩි දරිද්‍රතාවය විසිනි.

ඇෆ්ගනිස්‌ථානය යනු අධික ජනගහනයක්‌ද, පාලනයකින් තොර ජනගහන වර්ධනයක්‌ද සහිත දුප්පත් රටකි. ජනගහනයෙන් අඩකට වඩා දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අතර විරැකියාවද උග්‍රය. දුප්පත්කම නිසාම ඔවුන්ට හරි හමන් අධ්‍යාපනයක්‌ ලැබෙන්නේ නැති තරම්ය. යාන්තමින් බඩ වියත රැක ගන්නට හෝ ඉතා ලාබාල වයසේ පටන් ඔවුන්ට වැඩ කරන්නට සිදු වෙයි.

අඩු වයස්‌ පිරිමි දරුවන් "පිරිමි නාටිකාංගනාවන්" වෙන්නේද මේ දුප්පත්කම නිසාවෙනි.

පිරිමි නාටිකාංගනාවක වීම යනු කෙටියෙන් කීවොත් ලිංගික වහලෙකු වීමය.

ඇෆ්ගනිස්‌ථානය ඉස්‌ලාමීය රටකි. එසේම ඇෆ්ගනිස්‌ථානය දැඩි සේ ආගමික නීතීන්ට නැඹුරු වූ රටක්‌ ලෙසද සැලකෙයි. එහි ගැහැණුන් මෙන්ම පිරිමින්ද ඉස්‌ලාමීය නීතිය යටතේ දැඩිව පාලනය වෙයි.

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ නටන්නට ඉස්‌ලාමීය නීතියෙන් අවසර නැත. ඒ නිසා විවාහ මංගල උත්සව වලදී හා සාදයන්හිදී පැමිණෙන්නන් සතුටු කිරීම සදහා රංගනයෙහි යෙදෙන්නේ කාන්තාවන් මෙන් සියුමැලි පෙනුම ඇති පිරිමි දරුවන් විසිනි.

උත්සවයේ රැඟුම් පෑම අවසන් වූ විට රැස්‌ව සිටින වැඩිහිටි පිරිමි නරඹන්නන් විසින් මේ දරුවන්ව මිලදී ගනී. ඒ රාත්‍රිය පහන් කිරීම සදහා ළමා ගණිකාවක ලෙස යොදා ගන්නටය. මෙසේ ගෙන යන එක දරුවෙකුට මුලු රැයක්‌ පුරා බොහෝ විට තමන්ට වඩා වයසින් හතර පස්‌ ගුණයක්‌ වැඩිහිටි පිරිමින් හත් අට දෙනෙකුගේ මනදොල සපුරන්නට සිදු වෙයි. කොතරම් දැඩි ලිංගික හිංසනයකට ලක්‌ වුවද ඔවුන්ට එක්‌ රැයකට ලැබෙන්නේ ඩොලර් එකත් දෙකත් අතර සොච්චමකි.

වැඩිහිටි පිරිමින් අතින් කායික අපචාරයට ලක්‌ වෙන මේ දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද පිරිහෙති. එහෙත් මේ ළමා හිංසනය ගැන හෝ ඔවුන්ගේ ශාරීරික මානසික සෞඛ්‍යය ගැන කතා කරන්නට හැකි නීතියක්‌ එරට නැත.

බොහෝ විට මේ නින්දිත අපචාරය කරන වැඩිහිටි පිරිමින් බලවත් හා ධනවත් උදවියයි. අපචාරයට ලක්‌වන දරුවන් බෙහෙවින් දිළිඳු පවුල් වල දරුවන්ය. එනිසා මේ අසාධාරණය වෙනුවෙන් අසරණව නිහඬව සිටින්නට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සිදුවෙයි.

"ඔමිඩ්" එවැනි අසාධාරණයට ලක්‌වුණු අපයෝජනය වුණු "බාචා බාසි" දරුවෙකි.

ඔමිඩ් යනු ඔහුගේ සැබෑ නම නොවේ. ඔහුගේ වයස අවුරුදු පහළොවකි. ඔමිඩ්ගේ පියා මිය ගියේ කුඹුරේ වැඩ කරමින් සිටිද්දී බිම් බෝම්බයක්‌ මත පය තැබීමෙනි. ඒ වන විට ඔමිඩ්ගේ වයස අවුරුදු දහයකි. එහෙත් ඔහු පවුලේ වැඩිමහල් දරුවාය. පියා මිය ගිය පසු පවුල රැකගැනීමේ වගකීම පැවරුණේ ඔහුටය.

"තාත්තා මැරෙනකොට මට වයස අවුරුදු දහයයි. මට බාල මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා... තාත්තා මැරුණට පස්‌සෙ අපි තුන්දෙනාට කන්න දෙන්න අම්මා පාරෙ හිඟා කෑවා. ඒත් අම්මා හිඟාකාලා හොයන සල්ලි අපි හතර දෙනාට කන්නවත් මදි... ගොඩක්‌ වෙලාවට අපි හිටියේ බඩගින්නේ... අපිට වෙන කරන්න දෙයක්‌ තිබුණෙත් නෑ...

"ඒ හින්දා තමයි අවුරුදු දහයේ ඉදන්ම මම මඟුල් ගෙවල් වල නටන්න ගියේ. එක උත්සවේක නටනවට මට හම්බ වුනේ ඩොලර් දෙකකුයි බත් පිගානකුයි විතරයි.."

ඔහු එසේ කීවද උත්සවයක්‌ නිමවුණු පසු ඔහුව ලිංගික වහලෙකු ලෙස හෝටලයකට රැගෙන ගිය පසුවද එක්‌ රැයක්‌ සදහා ඔහුට ලැබුණේa ඩොලර් දෙකක්‌ පමණකි. එවන් බොහෝ රාත්‍රීන් වල ඔහු දරුණු සමූහ දූෂණයකට ලක්‌ වී ඇත.

ඔහු මේ ගැන පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි ඇසූ විට ඔහු කීවේ "ඒ ගොල්ලො ගොඩක්‌ පෝසත් මිනිස්‌සුනෙ.. පෝසත් අයට පොලිසියෙ අය මොනවත් කරන්නෙ නෑනෙ..." කියා පමණකි.

ඔමිඩ්ට සිටින එකම වැඩිහිටියා ඔහුගේ මවය. ඇයගේ වයස අවුරුදු තිහකි. එහෙත් ඇගේ පෙනුම අවුරුදු පනහත් ඉක්‌මවූ සෙයකි. දවසම සිගා කෑමෙන් ඇයට උපයා ගත හැකි වස්‌තුව වනුයේ හාල් රාත්තල් බාගයකුත් ලුණු ගෙඩි කීපයකුත් පමණකි. හතරදෙනෙකුගේ එක වේලකටවත් එය පිරිමැසෙන්නේ නැත. තමන්ගේ පුතු උත්සව වල නටන බවත්, ඉන් පසු වැඩිහිටි පිරිමින්ගේ මනදොල පිනවන්නට ගණිකා වෘත්තියේ යෙදෙන බවත් ඇය දනියි. ඒත් ඇයට ඊට වඩා වැදගත් වනුයේ වේලක්‌ පිරිමසා ගන්නට සොච්චමක්‌ අතට ලැබීමය. තම ලාබාල පුතු මුහුණ දෙන්නේ කොතරම් අමානුෂික හිංසනයකටද, අපචාරයකටද යන්න ගැන ඇයට අවබෝධයක්‌ නැත.

මේ දරුවන් බාචා බාසි වෘත්තියට වැටෙන්නේ අවුරුදු නවයක්‌ දහයක්‌ තරම් අඩු වයසේදීය. අවුරුදු දාසය දාහත ඉක්‌මවන විට ඔවුන්ට ඇති ඉල්ලුම අඩු වෙයි. අවුරුදු විස්‌සක්‌ වෙන්නටත් ප්‍රථම ඔවුන්ගේ ජීවිත විනාශ වී හමාරය.

කායිකව බරපතල ලිංගික අපයෝජනයකට ලක්‌ වන ඔවුන් මානසිකව සුව කළ නොහැකි තරමේ තුවාල කැලැල් වලට උරුම කම් ලබති. මුලු මහත් ළමා කාලය පුරාමත් නව යොවුන් විය පුරාමත් නැටීම හා අපචාරයට ලක්‌වීම හැරෙන්නට වෙනත් අධ්‍යාපනයක්‌ හැකියා සංවර්ධනයක්‌ නොලබන ඔවුන්ට එතැනින් ඔබ්බට ජීවිතය ගෙනයන්නට මාර්ගයක්‌ නැත.

බාචා බාසි වෘත්තියෙන් හප වී ඉවතට විසි වෙන ඔවුන්ගේ උරුමය වන්නේ මහපාරය.

"කමාල්" ඒ ඉරණමට මුහුණ පෑ අයෙකි.

කමාල් උත්සව වල නටන්නට පටන් ගන්නා විට ඔහුගේ වයස අවුරුදු දාහතරකි.

"තාත්තා නැති වුණාට පස්‌සේ අම්මා මාව පවුලේ හිතවතෙකුගෙ ගෙදර නැවැත්තුවා.. එයා තමයි මං විශ්වාස කරපු එකම මනුස්‌සයා.. අපි කීප දෙනෙක්‌ම හිටියා.. අපි උත්සව වල නටන්න ගියා මතකයි.. මගේ හාම්පුතා කිව්වේ මම තමයි එයාගෙ පුතා කියලා.. හාම්පුතාට හිටපු කොල්ලෝ අතරින් ලස්‌සනම මම නෙවෙයි.. ඒත් හොඳටම නටන්න පුලුවන්කම තිබුණේ මට.. හාම්පුතාගෙ නෝනා දැනගෙන හිටියා අපෙයි හාම්පුතාගෙයි සම්බන්ධකම.. ඒත් එයා ඒකට හුරු වෙලා හිටපු නිසා අපිටත් සැලකුවේ පවුලේ අයට වගේමයි..

අනූ දෙකේදි තලේබාන්ලා රටේ පාලනය අල්ලගත්තට පස්‌සෙ මගේ හාම්පුතාට රටෙන් පැනල යන්න සිද්ධ වුණා.. ඒ ගොල්ලෝ රටින් පැනලා යනකොට අපිව ගෙනිච්ෙච් නෑ.. ජීවත් වෙන්න වෙන දෙයක්‌ මම ඉගෙනගෙන තිබුණෙත් නෑ.. අපිට ඉතින් කරන්න වෙන දේකුත් නෑනේ.. තලේබාන්ලා ආවාට පස්‌සේ නැටුම් එහෙමත් තහනම් වුණා.. අපි හිටියේ හැංගිලා වගේ.. බාචා බාසි කෙනෙක්‌ විදිහට වැඩ කරලා වයස පැන්නාම ගොඩක්‌ අය කරන්නේ එක්‌කෝ පිරිමි ගණිකාවක්‌ වෙන එක.. නැත්තම් පාතාලේ අපරාධ වලට සම්බන්ධ වෙන එක.. නැත්තම් කුඩු විකුණන්න සම්බන්ධ වෙන එක.."

ඇෆ්ගනිස්‌ථානය තලේබාන් පාලනයට යටත් වීමත් සමගම ඉස්‌ලාමීය අන්තවාදය යටතේ නැටුම් ගැයුම් තහනම් වූ නිසා බාචා බාසි සැඟවී කරන වෘත්තියක්‌ බවට පත් විය. එහෙත් තලේබාන් පාලනය ඇදවැටීමත් සමග බාචා බාසි ජාවාරම තිබුණාටත් වඩා හොඳින් කෙරෙන සරුසාර ජාවාරමක්‌ විය. මේ ජාවාරම මැඩපවත්වන්නට එරට නීතිය විසින් හෝ බලධාරීන් විසින් කිසිදු පියවරක්‌ ගන්නේ නැත. ඇෆ්ගනිස්‌ථානය තුල බාචා බාසි ළමා ලිංගික වහල් සේවය ඇති බව තමන්ට වාර්තා නොවන බව ඇෆ්ගනිස්‌ථාන බලධාරීන් පවසති. එය පුරාණයේ ඈත ගම්මාන වල පමණක්‌ පැවතුණු චාරිත්‍රයක්‌ බවත් වසර ගණනාවකින් එවන් සිදුවීමක්‌ වාර්තා වී නැති බවත් ඔවුන් පවසයි. එහෙත් ඇෆ්ගනිස්‌ථානයේ උතුරු පෙදෙසින් පත් වුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු වන අබ්දුල් කබීර් අච්ක්‌වන් පවසන්නේ බචා බාසි වහල් සේවය තවමත් පවතිනවා පමණක්‌ නොව එය දිනෙන් දින ඇෆ්ගනිස්‌ථාන පිරිමි දරුවන් බහුතරය ග්‍රහණය කරගන්නා ජාවාරමක්‌ වෙමින් වැඩෙන බවය.

"අවාසනාවකට වගේ ඇෆ්ගනිස්‌ථානයේ හැම පළාතකම වගේ මේක පැතිරෙනවා... මේ ජාවාරම පාලනය කරන්න කියලා මම කීප වතාවක්‌ම ප්‍රසිද්ධියේ අපේ පාලකයින්ගෙන් ඉල්ලුවත් මේ ගැන කිසිම කෙනෙක්‌ කිසි පියවරක්‌ ගන්නෙ නෑ.." ඔහු පවසයි.

ලාබාල පිරිමි දරුවන් මෙසේ බාචා බාසි ලිංගික වහල් සේවයට විකිණීම ලාබදායි ජාවාරමක්‌ වන බැවින් මේ වන විට ඇෆ්ගනිස්‌ථානය තුල බාචා බාසි හාම්පුතුන් දිනෙන් දින වැඩි වෙමින් පවතියි. මේ හාම්පුතුන් සියුමැලි පෙනුමක්‌ ඇති වයස අවුරුදු නවය දහය වයස්‌ කාණ්‌ඩ වල දරුවන් තම සේවකයන් වශයෙන් එක්‌ කරගැනීමට දුගී පවුල් කෙරේ ඇස ගසාගෙන සිටියි.

එසේ හෙයින් ඇෆ්ගනිස්‌ථානය තුල කුඩා පිරිමි දරුවන් ගැහැණු දරුවන්ට වඩා අපචාර වලට ලක්‌ වීමේ සහ පැහැරගැනීමේ අවදානමකට ලක්‌ව සිටී.

"බාචා බාසි" මුදල් ඉපයීමේ ජාවාරමක්‌ ලෙස මහාපරිමාණයෙන් කරන ජාවාරම් කරුවන්ට ඇෆ්ගනිස්‌ථානයේ අධික දුප්පත්කම ආශීර්වාදයකි. ඇෆ්ගනිස්‌ථානයේ නගරවල වීදි වල ඇති පදම් දුගී දරුවෝ සිටිති. ජීවත් වෙන්නට සොච්චම් මුදලක්‌ හෝ හොයා ගන්නට නගර වල වීදි ගානේ සිඟමන් යදින, පාවහන් ඔප දමන, විකිණිය හැකි බෝතල් පත්තර කැලි කසල වැනි ඕනෑම දෙයක්‌ එකතු කරන දුගී දරුවෝ ඇෆ්ගනිස්‌ථානයේ බහුලය. ඒ දරුවන් අතරින් බාචා බාසි වෘත්තියට යොදා ගන්නට හැකි දරුවන් සොයා ජාවාරම් කරුවෝ වීදි පීරති.

දුප්පත්කම නිසාම වීදි දරුවන් වන මෙකී දරුවන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම එරට රජයට පවා අපහසුය. ඇතැම් ජාවාරම් කරුවන් මේ දරුවන්ව ඔවුන්ගේ දෙමාපියන් වෙතින් රැගෙන එන්නේ දරුවාට අවශ්‍ය සියලුම දේ සැපයීමේ සහ අධ්‍යාපනය ලබා දීමේ පොරොන්දුව පිටය. එහෙත් මේ දරුවන්ට ලැබෙන්නේ නැටුම් ගැයුම් ආදිය පිළිබඳ පුහුණුව පමණකි. ඉන් පසු ඔවුන්ව බාචා බාසි වෘත්තියේ යොදවා ජාවාරම් කරුවන් විසින් මුදල් උපයනු ලබයි. මෙවැනි දරුවන් උත්සව වල නැටවීම හා ලමා ගණිකා වෘත්තියේ යෙදවීමෙන් පමණක්‌ නොව මෙම දරුවන් ධනවතුන්ට විකිණීමෙන්ද ඔවුහු මුදල් උපයති.

මෙවන් බාචා බාසි හාම්පුතුන් ළඟ කුඩා පිරිමි ළමුන් විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඇතැම් විට එය සියයද ඉක්‌මවන බව අසන්නට ලැබෙයි. මෙම පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගේ අවශ්‍යතා සපුරන්නට ලබා දීමෙන් ඔවුහු මහා පරිමාණයෙන් මුදල් උපයා ගනිති.

බොහෝ විට මෙසේ ගැනුම්කරුවන් විසින් හෝටල් වලට රැගෙන යන දරුවන්ට දරුණු ලිංගික අතවර වලට මුහුණ දෙන්නට සිදු වෙයි. ඒ තත්වයට මුහුණ දෙන්නට පහසු කරවීම පිණිස ඒ දරුවන් අයිති ජාවාරම් කරුවන් විසින් ඔවුන්ට මත් ද්‍රව්‍ය ලබා දෙයි.

මෙසේ රැයක්‌ ගානේ මත් ද්‍රව්‍ය ගෙන ගැනුම් කරුවන් පිනවන මේ දරුවන් අඩු වයසින්ම හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෝ බවට පත් වෙති.

මේ හාම්පුතුන්ගේ බාචා බාසි නිවාස වලින් පිටව යන්නට මෙම කුඩා පිරිමි ළමුන්ට අවසර නැත. ඔවුහු හාම්පුතාගේ සිරකරුවෝ වැනිය. මේ තැන් වලින් පැන යාමට තැත් කරන දරුවන්ට අනන්ත තාඩන පීඩන වලට මුහුණ පා නැවතත් මේ නිවාස වලම කොටු වෙන්නට සිදු වෙයි. ඇතැම් විට මේ නිවාස වලින් පැන යන්නට තැත් කිරීම මරණයට අතවැනීමක්‌ද විය හැක.

"අපි මෙහෙන් පැනලා කොහේ යන්නද. අපිව සමාජයෙන්වත් අපේ ගෙවල් වලින්වත් බාරගන්නේ නෑනේ..." එවන් නිවාස වල කොටුවී සිටින ඇතැම් දරුවෝ කියති.

මෙවැනි "බාචා බාසි" දරුවන්ව ඇතැම් ධනවතුන් විසින් තම පෞද්ගලික පරිහරණය සදහා මිලදී ගනී. යමෙකු සතුව සිටින බාචා බාසි ලිංගික වහලුන් ගණන ඔහුගේ ධනවත්කමේ තරම පෙන්වන සාධකයකයි ඇෆ්ගනිස්‌ථානයේ ධනවත්තු සිතති.

'සාබි' බාචා බාසි දරුවන් කිහිපදෙනෙකු අයිති හතලිස්‌ හැවිරිදි ධනවතෙකි. ඔහු පදිංචිව සිටින්නේ කාබුල් නුවරය.

"මට බාචා බාසි තුන්දෙනෙක්‌ ඉන්නවා.. බාලම බාචාගෙ වයස අවුරුදු පහළොවයි. වැඩිමල් එක්‌කෙනාට අවුරුදු දහඅටයි.." ඔහු කියන්නේ ආඩම්බරයෙනි. "මේ ගොල්ලන්ව ගන්න එකත් ලේසි නෑ. ඒත් ඉතින් උවමනාවක්‌ තියනව නං හොයා ගන්න එක ඒ හැටි දේකුත් නෙවෙයි.. මං ඒගොල්ලොන්ට ඕන හැම දෙයක්‌ම දෙනවා.. හොදට කන්න බොන්න දෙනවා.. ගොඩක්‌ දවස්‌ වලට හැන්දෑවට මගේ යාලුවො මාව හම්බ වෙන්න එනවා.. බාචා බාසිලා තුන්දෙනාට තියෙන්නේ නටලා සින්දුවක්‌ එහෙම කියලා අපිව සන්තෝස කරන එක තමයි..

සමහරු පොර කුකුල්ලු කොටවන්න කැමතියි. සමහර අය බල්ලො ඇති කරන්න කැමතියි.. ඒ වගේ තමයි.. අපේ කැමැත්ත බාචා බාසිලා තියාගන්න එක. ඒකෙ ඇති වැරැද්ද මොකක්‌ද..?" සාබි පවසයි. මේ ලාබාල දරුවන්ගේ මානව හිමිකම් ගැන අල්පමාත්‍ර හැගීමක්‌ අවබෝධයක්‌ නැති ඇෆ්ගනිස්‌ථාන් වැසියන් බහුතරයකගේ අදහස්‌ එපරිදිය.

සාබි වැනි ධනවතුන් ඇෆ්ගනිස්‌ථානයේ හිඟ නැත. ඔවුහු බාචා බාසි වෘත්තියට කැමතිය. ඇෆ්ගන් වැසියන්ගෙන් බහුතරය මේ අපචාරයට කැමතිය. ඉතිරි අය ඊට එරෙහිව හඬ නඟන්නේද නැත.

ඇෆ්ගන් රජයට මේ ගැටලුව විසඳන්නට හැකියාවක්‌ හෝ උවමනාවක්‌ නැතැයි මේ අපචාරයට එරෙහි අල්ප වූ වැසියෝද පවසති.

ඇෆ්ගන් නීති පද්ධතිය දුර්වලය. ඇෆ්ගනිස්‌ථානයේ දුප්පත්කම උග්‍රය. එනිසා වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් දුගී දරුවන් දහස්‌ ගණනින් ජීවත් වෙන්නට යමක්‌ උපයා ගන්නට වීදියට වැටෙනු ඇත. ඒ දුප්පත්කම පවතින තාක්‌ කල් බාචා බාසි ළමා ලිංගික වහල් සේවයද පවතිනු ඇත.

නිම්මි මුදිතා හේරත්




ඉරිදා දිවයින 
29.01.2017

Wednesday, December 12, 2018

නිර්භීත හදවතක්


එතකොට එයාට වයස අවුරුදු දාහතයි..
එදා හැන්දෑවෙ එයා හිටියෙ
යූ ටියුබ් එකේ
මියුසික් වීඩියෝ හොය හොයා ..
එක පාරටම එයා දැක්කා වීඩියෝවක්..
“ලෝකයේ කැතම කාන්තාව“ කියලා ..
ඒ වීඩියෝවේ තිබ්බේ එයාගෙ මූණ..
එයා මොහොතකට ගල් වුණා වගේ..
“ලෝකෙ කැතම කාන්තාව..“!
මේක කවුරු හරි දැක්කොත්..
එයාට හිතුණා..
ඇත්තටම ඒක ගොඩක් අය දැකලා තිබුණා..
ගොඩක් අය ඒක බලලා තිබුණා..
බලලා එ් ගැන කොමෙන්ට් කරලාත් තිබුණා..
“මිනිස්සු මගේ ගැන මොනව කියනව ඇතිද..?“
එයා හිතුවා.
හිතේ උතුරලා යන දුකත් එක්ක
එයා තමන් ගැන මිනිස්සු ලියලා තිබුණ කොමෙන්ටු කියෙව්වා.
“මේකිව දැක්කට වැඩිය හොදයි ඇස් අන්ධ වුණා නං..“
“අපෝ මගේ ළමයෙක් නං මම මේ කෙල්ලව ඉපදුන ගමන්ම මරලා දානවා..“
“චී.. මේ හොල්මන ගින්නට දාලා පුච්චන්නයි තිබ්බේ..“
හැමෝම ලියලා තිබුණේ ඒ වගේ අදහස්..
පිහියෙන් අනිනවා වගේ නපුරු දුෂ්ඨ අදහස්..
එකම එක්කෙනෙක් හරි
හිත හැදෙන වචනයක් ලියලා තියෙයිද කියලා බලන්න
එයා සේරම කොමෙන්ටු කියෙව්වා..
එකක්වත් නෑ..
හිත හැදෙන්න එක වචනයක් කියන්න කවුරුවත්ම නෑ..
එයා කොම්පියුටරය ඕෆ් කරලා ගිහින් ඇදට වෙලා හොදටෝම ඇඩුවා..
මේ වීඩියෝව අම්ම හරි තාත්තා හරි දැක්කා නම්
එයාලට කොච්චර දුක හිතෙයිද..
එයාට හිතුණේ එහෙම..
ඊට පහුවදා ඉදන්
පාරෙ යනකොටත්
මිනිස්සු එයාට විහිලු කළා..
අපහාස කළා.. නින්දා කළා..
එයාට දුක හිතුණා තමයි..
ඒත් එයාට හිතුණේ වෙන දෙයක්..
“අනේ මම වගේ තවත් අය ඇති නේද..? එයාලාටත් මේ නපුරු මිනිස්සු මේ විදිහටම නින්දා කරනවා ඇති නේද..? එයාලාට කොච්චර දුක හිතෙනවා ඇතිද..?“ කියලා.
ඉතින් එයා
තනියම පටන් ගත්තා සටනක්..
මේ විදිහේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන් සටනක්..
එයා..
යූ ටියුබ් එකේ වීඩියෝ හෙව්වා..
මිනිස්සුන්ට කතා කරන, මිනිස්සුන්ව දැනුවත් කරන
මහජන දේශකයන් ගේ වීඩියෝ හෙව්වා..
ඒ වීඩියෝ බලලා..
එයා තනියම කාමරේට වෙලා
මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වුණා..
ඊට පස්සේ..
එයා යූ ටියුබ් එකට වීඩියෝ අප්ලොඩ් කළා..
තමන් වගේම හිරිහැර වලට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් කතා කළා..
ඒ හිරිහැර වලට නොබියව මූණ දෙන්නේ කොහොමද කියලා
ඒ අයව දැනුවත් කළා..
ඊට පස්සෙ
එයා TEDx talk කියන වැඩසටහනට ඉදිරිපත් වුණා..
ඒ වැඩසටහන මිලියන ගානක් මිනිස්සු බැලුවා..
ලිසී වෙලස්ක්වෙස් එක රැයකින් ජනප්‍රිය වුණා..
ලිසී මේ තරම් දුර ආපු ගමන ගැන
එයා විදපු අපහාස, දුක් ගැන ලෝකයම දැනගත්තා.
ලිසී මේ තරම් අවලස්සන වුනේ
එයාට උපතින්ම උරුම වෙලා තිබුණ දුර්ලභ රෝගයක් හින්දා..
එයාගෙ ඇගේ මේදය ප්‍රතිශතය බින්දුවයි. එයා කවදාවත් මහත් වෙන්නේ නෑ.. ඇටසැකිල්ලක්ම විතරයි.. ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..
ඉතින් මිනිස්සු මේ බව නොදැන ලිසීට කොයි තරම් නින්දා අපහාස කළාද..
ඒත් ලිසී ඒ නින්දා අපහාස වලින්
එක බින්දුවක් සැලුනේ නැහැ..
එයා සටන් කරන්න පටන් ගත්තා..
තමන් වෙනුවෙන් නෙවෙයි
අනුන් වෙනුවෙන්..
තාමත් ලිසී සටන් කරනවා..
මේ වගේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන්..
ලිසී අද හරි ජනප්‍රියයි..
ලිසීගෙ ජීවිත කතාව කියන
චිත්‍රපටියක් පවා හැදිලා..
ඒ චිත්‍රපටියේ නම “A Brave Heart“
“නිර්භීත හදවතක්..“
ඇත්ත..
ලිසීට තියෙන්නෙ නිර්භීත හදවතක්..
ඒ වගේම තමන්ගේ දුක ගැන නොහිතා අනුන්ගේ දුක ගැන හිතන කරුණාවන්ත හදවතක්..
අනුන් වෙනුවෙන් සටන් කරන්න හිතෙන තරම් ලස්සන හදවතක්..
ඒ හින්දා
පෙනුමින් ලෝකෙ කැතම කාන්තාව වුණත්
හදවතින් ලිසී හරි ලස්සන කෙල්ලක්..
ලස්සන වෙන්න හිතන
අපේ නංගිලා අක්කලා
දහස් ගනන් වියදම් කරලා ෆේෂල් කරන වෙලාවෙ
තවත් අයගෙ දුක ගැන හිතන, දුක් විදින අයට පිහිට වෙන
හදවතින් ලස්සන කෙනෙක් වෙන්න බලන්න..
ඒ ලස්සන කවදාවත් මැකිලා යන්නෙ නෑ.

Tuesday, December 11, 2018

දරුවෙකුගේ දිරිය

එදා අන්ධකාර දවසක්..
ජපානයට උදාවුණ මහ මූසල දවස් කීපයකින් එකක්...
ලෝක ඉතිහාසයෙත් අදුරුම දවස් වලින් එකක්...
ඒ ජපානයෙ හිරෝෂිමා නාගසාකි නගර වලට බෝම්බ දාපු දවස්....
පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් මුලු පලාතම අමු සොහොනක් වෙලා..
තැනින් තැන විසිවුණ මලමිණී,
මිනිස්සුන්ගෙ අත්පා, මස් වැදලි..
ගොඩනැගිලි වල සුන් බුන් එක්ක එකතු වෙලා..
තුවාල වුණ මිනිස්සු, පණ අදින මිනිස්සු..
ඒ මිනිස්සුන්ව ගලවගන්න ආපු
ජපන් හමුදාවෙ සොල්දාදුවෝ..
සහන සේවා වල අය..
පරමාණු බෝම්බෙ විෂ දුමෙන් බේරෙන්න
මුහුණු ආවරණ දාගෙන, සුන්බුන් වලට යටවුණ තුවාලකාරයෝ හොයන,
මැරුණු මිනිස්සුන්ගෙ මිනී එකතු කරන අය...
ඒ අතරෙ.. මේ සිද්ධිය ගැන
තොරතුරු හොයන්න ආපු මාධ්‍යෙව්දියෝ...
ඒ අතරෙ උන්නා
ඇමරිකානු හමුදාවෙන් මේ හානිය තක්සේරු කරගන්න එවපු කෙනෙක්... එයාගෙ නම ජෝ ඕඩොනෙල්..
ජෝ ඕඩෙනල් දැක්කා
මේ මලමිනී සුන් බුන් උඩින් පරිස්සමට අඩි තිය තියා එන අමුත්තෙක්..
ඒ පුංචි දරුවෙක්..
වයස අවුරුදු දහයක් විතර ඇති..
සෙරෙප්පු දෙකක්වත් නැති නිරාවරණ කකුල් වලින්
සුන් බුන් උඩින් අඩි තිය තියා ඇවිදගෙන ආවා..
එයාගෙ පිටේ තවත් දරුවෙක්..
අවුරුදු පහක විතර පුංචි දරුවෙක්..
ජපානෙ ගම්මාන වල පුංචි දරුවෝ
තමන්ගෙ මල්ලිලාව නංගිලාව මෙහෙම පිටේ තියාගෙන ලුණු ගෙනියන හැටි ජෝ දැකල තිබුණ..
ඒත් මේක නම් එහෙම සෙල්ලමක් නෙවෙයි..
පිටේ උන්නු දරුවා නිදි වගේ පෙනුනෙ..
ඒත්..
ලං වෙනකොට ජෝ දැක්කා..
පිටේ උන්නු දරුවා නිදි නෙවෙයි..
එයා මැරිලා...
ඒ දරුවාව පිටේ බැදගෙන ආපු කොලු පැටියා
එයාගෙම අයියා..
මේ පුංචි අයියාට
ඒ වෙනකොට තමන්ගෙ කියන්න
මේ ලෝකෙ ඉතිරි වෙලා තිබුණ එකම දේ තමයි ඒ..
පුංචි මල්ලිගෙ මලමිණිය..!
අම්මයි තාත්තයි කොහේද දන්නෙ නෑ..
මැරිලද ඉන්නවද.. එයාලා මැරිලා එයාලාගෙ මලමිණී ගිනිබත් වෙලාද.. ඒ මොකුත් මේ පුංචි කොලු පැටියා දන්නෙ නෑ..
එයා දැක්කෙ එක දෙයයි..
පුංචි මල්ලී මැරිලා.. කෑලි වලට කැඩිලා බිමට සමතලා වුණ ගෙදර සුන් බුන් අතර මල්ලිගෙ මලමිණිය තිබුණා..
මල්ලිව එතන දාලා එන්න අයියාට බෑ..
ඒ නිසා මල්ලිව වඩා ගත්ත අයියා
මල්ලිව පිටේ තියලා රෙදි පටි වලින් බැදගත්තා..
ඊට පස්සෙ මල්ලිවත් අරගෙන පයින්ම ආවා..
කෑ ගහලා අඩන්න ඕන කම තිබුණත් එකම එක කදුලක්වත් හෙලන්නෙ නැතිව මල්ලිව අරගෙන මේ පුංචි අයියා
සොහොන් බිමක් හොය හොයා ආවා..
මල්ලිගෙ පුංචි මලමිණිය ගෞරවණිය විදිහට වල දාන්න.. නැත්තම් ආදාහනය කරන්න..
එතන හිටපු අය මේ පුංචි දරුවාගෙ මලමිණිය බාරගත්තා..
අයියා මල්ලිගෙ මලමිණිය බාරදීලා ආයෙමත් ගියේ නෑ..
මල්ලිව ආදාහනය කරනකල්ම බලාගෙන හිටියා..
බෝම්බෙට අහුවුණු තවත් සියගාණකගේ මල සිරුරු එක්ක
පුංචි මල්ලිගෙ සිරුරත් පිච්චෙන හැටි පුංචි අයියා බලාගෙන හිටියා..
ඊයෙ තමන් එක්ක සෙල්ලම් කරපු මල්ලිගෙ පුංචි අතපය පිච්චෙන ගිනිදලු දිහා අයියා බලාගෙන හිටියෙ එකම එක කදුලක්වත් හෙලන්නෙ නැතිව..
ඒත් ඇඩෙන එක නවත්තගන්න
ලේ පනින තරම් තදින් යටිතොල හපාගෙන..
මේ පින්තූරයෙ ඉන්න
දරුවගෙ මූණ දිහා බලන්න..
ජපන් ජාතිකයෙකුගෙ තියෙන ධෛර්යය මේ දරුවගෙ මූණෙ ලියවිලා නැද්ද කියලා..
ජීවිතේ දරුණුතම ඛේදවාචකයකට වුණත්
ගහක් ගලක් වගේ මූණ දෙන ශක්තිය..
කෙල්ලෙක් දාලා ගියාම කෝච්චියට පනින,
අම්මා අප්පා අවවාදයක් දුන්නාම සාරියකින් ගෙදර බාල්කෙ බෙල්ලෙ වැලදාගන්න
බූට් එකක් කෑවාම අවුරුදු ගනන් වැලපෙන
තරුණ පරපුරක් එක්ක අපි කොහොමද කවදා හරි රටක් හදන්නෙ.. ජාතියක් ගොඩනගන්නෙ..?

Sunday, December 9, 2018

දෙවියන්ගෙ දියණිය ---------------------------------


කිසිවෙකු නිවසේ දොරට තට්ටු කරන හඩ ඇසිණ. ස්ටෙෆානියාගේ සිරුරම බියෙන් කිලිපොලා ගියේය. නිවසේ සිටින්නේ ස්ටෙෆානියාත් ඇගේ අට හැවිරිදි නංගි හෙලේනාත් පමණකි. ඔවුන්ට වෙනත් කිසිවෙකු නැත. තාත්තා යුද්ධයේදී මිය ගොසිනි. අම්මාවත් අයියාවත් කම්කරුවන් ලෙස සේවය කිරීම පිණිස ජර්මනියෙන් නෙරපා දමා තිබිණ.
එසේ වහල් සේවයට රටින් නෙරපා දමා තිබුණේ ස්ටෙෆානියාගේ අම්මාත් අයියාත් පමණක් නොවේ. නැගෙනහිර පෝලන්තයේ දහස් ගණන් වැසියෝ බලහත්කාරයෙන් වැඩ ගැනීම පිණිස හිට්ලර් විසින් ජර්මනියට පන්නා දමා තිබිණ.
1942 වසරයි. ඒ වන විට නැගෙනහිර පෝලන්තය හිට්ලර්ගේ කුරිරු පාලනය නතුවී අවුරුදු තුනක් ගත වී තිබිණ. ස්ටෙෆානියාගේ උපන් නගරය වූ ප්‍රෙමිස්ල් නගරය ඒ වන විට රුසියාව බලා යමින් උන් ගැස්ටාපෝ නියෝජිතයින්ගෙන් සහ රුසියානු සොල්දාදුවන්ගෙන් පිරී පැවතිණ. ස්ටෙෆානියා වැඩට යන එන හැම විටකදීම ඒ නොහික්මුණු සොල්දාදුවන්ගේ අමුතු බැලුම් තමා වෙත යොමු වන බව ඇයට දැනී තිබිණ. එහෙත් ඒ කියා වැඩට නොයා සිටින්නට ඇයට නොහැකිය. ස්ටෙෆානියාත්, හෙලේනාත් යන්තමට හෝ දිවි රැකගන්නේ කුඩා කම්හලක යන්ත්‍ර ක්‍රියා කරවන්නියක ලෙස වැඩ කොට ස්ටෙෆානියා උපයා ගන්නා සොච්චම් වැටුපෙනි.
ඉතින් මේ දැන් දොරට තට්ටු කරන්නේ කවුද.? මග තොටදීි අමුතු බැලුම් හෙලමින් තමාව “ආරක්ෂා කරන්නට” ඉදිරිපත් වෙන තවත් රුසියානු සොල්දාදුවෙක්ද.?
ස්ටෙෆානියා බියෙන් ගැහෙමින් දොර ඇරියාය. එසැණින් ගෙට ඇතුළු වූ යමෙකු දොර වසා දොරට පිටදී හේත්තු වූයේය. ස්ටෙෆානියා බියෙන් ගල් ගැසුණාය. ඇය ඉදිරිපිට උන්නේ හිසේ සිට මඩත් කුණුත් තැවරුණු, තෙත් වැරහැලි ඇදගත් අසරණයෙකි.
“ස්ටෙෆී.. අනේ මට උදව් කරන්න..”
“ස්ටෙෆී”.. ඒ් ඇගේ හිතවත්ම මිතුරන් ඇය අමතන නමයි. ස්ටෙෆානියා උනන්දුවෙන් තමා ඉදිරිපිට සිටින අමුත්තා දෙස බැලුවාය. ඇයට ඔහු හදුනා ගන්නට හැකි විය. ඔහු ජෝසෆ්ය. ඔහු මේ නගරයේ උන් ධනවත් යුදෙව් පවුලක පුතෙකි. මීට මාස කීීපයකට පෙර නගරයේ උන් 20,000 කට අධික යුදෙව්වන් සංඛ්‍යාවක් නාසි හමුදාවන් විසින් නගරයෙන් පිටුවහල් කරන ලදී. ජෝසෆ්ගේ පවුලද ඒ අතර වීය. මේ නගරයෙන් පිටුවහල් වෙන්නට පෙර ඔවුන් තම නිවස බලාකියා ගන්නට පැවරුවේද ඔවුන්ගේ හිතවත්ම මිතුරියක වු ස්ටෙෆානියාටය.
“මට එක රැයක් මෙහේ ඉන්න ඉඩ දෙන්න ස්ටෙෆී..” ඇඩෙන්නට ආසන්න ස්වරයෙන් ජෝසෆ් ඉල්ලා සිටියේය. “එකම එක දවසක්.. මම හෙටම යනවා.. මම පොරොන්දු වෙන්නම්.. මං ඔයාව කරදරයක දාන්නෙ නෑ..” ඔහු බැගෑපත් වූයේය.
හිතේ නැගී එන බියට සිරුර අඩපණ කරවා දමන්නට ඉඩ නොදෙන්නට ඇය උත්සාහ කළාය. යුදෙව්වන්ට ආරක්ෂාව සපයන්නන්ට, හෝ උදව් කරන්නන්ට මරණීය දණ්ඩනය ලැබෙන බව ජර්මානු හමුදාව විසින් ප්‍රෙමිස්ල් නගරය පුරා අනතුරු ඇගවීම් කර තිබිණ.
ඉතින් තමන්ගේත් හෙලේනාගේත් ජීවිත අනතුරේ හෙලා ගන්නේ කොහොමද..?
ඒත් මිතුරෙකු මේ තරමටම අසරණව ඉදිද්දී අහක බලාගන්නේත් කොහොමද.?
ස්ටෙෆානියා මදක් සිතුවාය. මේ වෙලාවේ අම්මා හිටියා නම් කුමක් කරාවිද.? ස්ටෙෆානියාගේ අම්මා කැතරිනා දැඩි ආගම් භක්තියෙන් යුතු කාන්තාවක් වූවාය. ස්ටෙෆානියා පුංචි කාලයේ දිනක් තවත් ළමුන් රංචුවක් යුදෙව් දරුවෙකුට හිරිහැර කරනු දුටු ස්ටෙෆානියාගේ මව ඒ දරුවාව බේරා යන්නට හැරියාය.
“ස්ටෙෆී.. ඔයා නම් කවදාවත් කාටවත් හිරිහැර කරන්නෙ නැතිවෙයි කියල මං හිතනවා.. අපි හැමෝම එකම දෙවියන්ගෙ දරුවෝ..” එවෙලේ අම්මා ස්ටෙෆානියාට කීවාය.
අම්මා මතක් වී ස්ටෙෆානියාගේ දෑසට කදුළු පිරිණ. “ඔයා ජෝසෆ්ට පිහිට වෙන්න ඕන..” අම්මාගේ ආදරණීය කටහඩ තමන්ගේ කණට කොදුරන්නාක් මෙන් ඇයට ඇසිණ.
තැලී සීරී තුවාල වුණු ජෝසෆ්ගේ කම්මුලකට අත තබා ඇය කරුණාවෙන් කතා කළාය.
“ඔව් ජෝසෆ්.. ඔයා මෙහේ නවතින්න.. දවසක් නෙවෙයි.. ඔයාට සනීප වෙනකල් නවතින්න..”
ස්ටෙෆානියා ජෝසෆ්ට තේ පිළියෙල කරන අතර ජෝසෆ් සිදුවුණු දේ විස්තර කළේය.
නගරයේ ඉතිරිව සිටින සියලුම යුදෙව්වන් මරා දැමීම පිණිස වධ කදවුරු වලට යවන්නට නාසි හමුදාවන් විසින් තීරණය කර තිබිණ. එලෙසින් මරා දමන්නට තීන්දු වුණු යුදෙව්වන් අතර ජෝසෆ්ගේ පවුලේ අයද විය. යුදෙව් ජාතිකයින් සියල්ලන්ම සතුන් ගෙන යන බඩු දුම්රිය පෙට්ටි වලට ගාල් කරනු ලැබිණ. ජෝසෆ් හා ඔහුගේ සොහොයුරෙකු පවුලෙන් වෙන් කොට වෙනත් කෝච්චි පෙට්ටියක හිර කෙරිණ. දුම්රිය ඉදිරියට ඇදෙන්නට වූ විට ජෝසෆ් සිරකරුවන්ගේ ආරක්ෂාවට යොදා තිබුණු විදුලි වයරය සාක්කු පිහියකින් කපා දමා දුම්රියේ කවුළුවක් උඩට නැගගත්තේය. කවුළුවෙන් අසීරුවෙන් පිටතට රිංගාගෙන ඔහු වේගයෙන් ගමන් ගන්නා දුම්රියෙන් පිටතට පැන්නේය. දුම්රියෙන් පිටතට පැනීමෙන් ඇතිවුණු තුවාලත්, සිරුරේ තැවරුණු මඩත් කුණුත් ඇතිව ඔහු පැය ගණනක් සිහිසුන්ව වැතිර සිටින්නට ඇත. සිහිය ලද වහාම ඔහු කලේ රහස් මාර්ග ඔස්සේ වහන් වෙමින් ප්‍රෙම්ස්ල් නගරයට පැමිණීමය. “ඉතින් මට එන්න ඉතිරිවෙලා තිබුණ එකම තැන ඔයාලා ලගට විතරයි..” ජෝසෆ් ඔහුගේ දීර්ඝ කතාව නිම කළේ ස්ටෙෆානියා ගෙනවිත් දුන් සැන්ඩ්විච් පිගාන දෙස කෘතවේදීව බලමිනි.
ජෝසෆ් යන්තමින් හෝ සුවපත් වූයේ සති දෙකකටත් පසුවය. සුවවී නගරයට ගිය ඔහුට ඔහුගේ සොහොයුරු හෙනෙක් හා හෙනෙක්ගේ බිරිද හමුවිය. ඔවුන් උන්නේ හමුදාවන්ගෙන් සැගවෙමින් කුසගින්නෙන් බැටකමිනි. ජෝසෆ්ගේ පවුලේ හිතවතෙකු වූ දොස්තර විලියම්ද, ඔහුගේ දියණිය ජූඩිද, ඔවුන්ගේ මිතුරෙකු වන මහළු දන්ත වෛද්‍යවරයෙකුද මේ අසරණ තත්වයෙන්ම බියෙන් සැගවී සිටියහ. මේ අසරණයින් පිරිසට ආහාර සපයා ගන්නට නගරයේ ඇවිදින්නට හැකි වන අයුරින් ජෝසෆ්, නගරයේ අප්‍රසිද්ධ මුද්‍රණාලයකින් ව්‍යාජ හැදුණුම්පතක් සකසා ගත්තේය. දිනක් ඒ හැදුණුම්පතද ඔහු අතින් නැතිවී ගියේය. හැදුණුම්පතක් නැතිව නගරයේ ඇවිදින්නට හැකියාවක් නොවීය. ඒ නිසා සැගවී සිටින පිරිසට ආහාර සොයා ගන්නට මගක්ද නොවීය. දැන් ඉතින් ජෝසෆ්ට ඉතිරිව ඇති එකම පිහිට ස්ටෙෆානියා පමණකි. ඔහු නැවතත් ස්ටෙෆානියා සොයා ගියේය.
“ස්ටෙෆී.. අපි ටික දෙනෙකුට ඉන්න තැනක් හොයලා දෙන්න.. ඔයාගේ උදව් නැතිව අපිට ජීවත් වෙන්න විදිහක් නෑ..”
ස්ටෙෆානියා වික්ෂිප්ත වූවාය. තමාටත් පිළිසරණක් නැති මේ නපුරු නගරයේ අනුන් උදෙසා පිළිසරණ යදින්නට ඇය යන්නේ කා ලගටද.? ඔවුන්ට නවාතැන් දීමට ඇති එකම තැන තමාගේ මේ කුඩා නිවස පමණකි. එහෙත් ඒ කී කාලයකටද.? මේ යුද්ධය තව අවුරුදු දහයකටවත් නිම නොවනු ඇත. “කවුරුහරි දොරට තට්ටු කරන හැම වෙලාවකම මං කොහොමද එයාලව ඇද යටට යවන්නෙ..? අනිත් එක කී දෙනෙක්ද..?” ස්ටෙෆානියා තනිවම සිතුවාය.
“අපි හැමෝටම ඉන්න පුළුවන් ගෙදරක් කුළියට ගමු..” ජෝසෆ් යෝජනා කළේය. ඔවුන්ට නවාතැන් දුන්නොත් තමාටත් නැගණියටත් ඔවුන් සමගම නාසි හමුදාවන් අතින් මැරුම් කන්නට සිදුවනු ඇති බව ඇය හොදාකාරවම දැන උන්නාය. එහෙත් මේ අසරණයින්ව ප්‍රතික්ෂේප කොට, ඔවුන්ට කුසගින්නේ මිය යන්නට ඉඩ හැර සියදහස් වාරයක් හදවතින් මිය යන්නේ කෙසේද.?
“අපි ඒ වගේ ගෙයක් හොයා ගමු..” ස්ටෙෆානියා එකග වූවාය.
සතියක පමණ උත්සාහයෙන් පසුව එබදු නිවසක් ඇයට මුණ ගැසිණ. නිදන කාමර දෙකක්, කුස්සියක් හා අටුවක් සහිත ටාටරස්කා වීදියේ පැරණි කුඩා නිවසක් ඇය කුළියට ගත්තාය. අනතුරුව ජෝසෆ් හා එක්වී එම නිවස පිරිසිදු කොට, පිටත සිටින්නෙකුට නිවසෙහි ඇතුලත නොපෙනෙන පරිද්දෙන් අදුරු තිර දැමුවාය.
මේ වැඩකටයුතු නිමවූ වහාම සැගවී සිටින්නන්ගේ පැමිණීම ආරම්භ විය. පළමුවෙන් ජෝසෆ් සහ දන්ත වෛද්‍යවරයාගේ පුතා නිවසට පැමිණියහ. අනතුරුව දොස්තර ෂයිලෙන්ජර් සහ ඔහුගේ දියණියත්, මහළු දන්ත වෛද්‍යවරයාත් පැමිණියහ.
නගරයේ සැගවෙමින් සිටි දන්ත වෛද්‍යවරයාගේ මිතුරියක මේ අතරමැදට කඩා පැන්නාය. තමාටත් තම දරුවන් දෙදෙනාටත් නවාතැන් නොදෙන්නේ නම් මේ රහස් නවාතැන පිළිබද ඔත්තුව නාසි හමුදාවන්ට ලබා දෙන බව කියමින් ඇය තර්ජනය කළාය. ස්ටෙෆානියා මහත් අකමැත්තෙන් නමුදු ඇයවද බාර ගත්තාය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයාගේ ඉල්ලීම වූයේ තමන්ගේ දුවණිය හා බෑණන්ඩියවත් මේ නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. ස්ටෙෆානියා එයද ප්‍රතික්ෂේප කළේ නැත. ඉන්පසුව හෙනෙක් හා ධනුතාද පැමිණියහ. නගරයේ උන් යුදෙව් ජාතික තැපැල් කරුවාද මේ කණ්ඩායමටම එක් වූයේය. මෙසේ සැගව සිටින යුදෙව්වන්ගේ සංඛ්‍යාව දහතුන දක්වා ඉහල නැංගේය. නගරයේ සිටින අන්තිම යුදෙව්වා දක්වා මරණ කදවුරු වෙත යවන්නට නාසි හමුදා ක්‍රියා කරන බව කියැවෙන ආරංචි වරින් වර ස්ටෙෆානියාට අසන්නට ලැබුණේ මේ අතරතුරය.
ස්ටෙෆානියා විසින් වරින් වර ගෙනෙන තහඩු උපයෝගී කරගෙන ජෝසෆ් විසින් ඉතා දක්ෂ ලෙස අටුවෙහි දහතුන් දෙනෙකුට සැගවී සිටින්නට ප්‍රමාණවත් තරම් ඉඩක් සහිතව බිත්තියක් බැන්දේය. මේ කාර්යය නිමවූ දිනට පසු දිනම ස්ටෙෆානියා අසුභ පුවතක් රැගෙන ගෙදර ආවාය.
“නාසි හමුදා භටයෙක් එහා ගෙදර ඉන්නවා..”
එතැන් සිට අල්පෙනෙත්තක් බිම වැටෙන හඩක්වත් නංවන්නට කිසිවෙකු බිය විය. නින්දෙන් ගොරවන ශබ්ද පවා වලකන්නට එක් එක් රාත්‍රීන් වල අවදිව සිටින්නට එක් එක් අයට පැවරිණ. කිසිවෙකු නින්දෙන් ගොරවන හැම වාරයකම අවදිව මුර කරන්නා විසින් ගොරවන තැනැත්තාව නිහඩ කරවන ලදී.
ස්ටෙෆානියාගේ මිතුරන් ඇයව දකින්නට පැමිණීමද ගැටළුවක් විය. ඇයව මුණ ගැහෙන්නට යම් කිසිවෙකු පැමිණෙන හැම අවස්ථාවකදීම කුමක් හෝ කියා ඒ අමුත්තාව ඉක්මනින් පිටත් කිරීමට ස්ටෙෆානියා කටයුතු කළාය. මෙවන් අවස්ථාවලදී බරපතලම කරදරය සිදුවූයේ ස්ටෙෆානියාට ආදරය ප්‍රකාශ කරමින් ඇය පසුපස ආ තරුණ ගැටයාගෙනි. ඔහු බොරු හේතු මවමින් ඉක්මනින් එළවා ගත හැකි කෙනෙකු නොවීය. එහෙත් එක් දිනක් ඔහු එන විට මහළු දන්ත වෛද්‍යවරයා නවත්වා ගත නොහැකි තරම් තද කැස්සකින් පෙලෙමින් උන්නේය. තරුණයා යන තුරු දන්ත වෛද්‍යවරයා කැස්ස නවත්වාගෙන උන්නේ වෑයමිනි. ඔහු ගිය පසු ස්ටෙෆානියා කළේ නගරයේ උන් කඩවසම් ජර්මන් සොල්දාදුවෙකුගේ පින්තූරයක් සාලයේ එල්ලා ගැනීමය.
“කවුද ඒ..?” ඊලග දිනයේ පැමිණි තරුණයා ස්ටෙෆානියාගෙන් ඇසුවේය. “ඒ මම බදින්න ඉන්න කෙනා..” ස්ටෙෆානියා උත්තර දුන්නාය. ඉන්පසු ඒ තරුණයාගේ පැමිණීම එහෙම පිටින්ම නතර විය.
සති දෙක තුනක් යද්දී ඔවුන් අත වූ මුදල් සීග්‍රයෙන් ඉවර වී යමින් පැවතිණ. කුසගින්න නිවස තුළට රිංගා ගත්තේය.
මුදල් සොයන්නට නිවසින් පිටතට යා හැක්කේ ස්ටෙෆානියාට පමණකි. කුඩා කම්හලක, කම්කරු රැකියාවක් කරන යුවතියක් දහතුන් දෙනෙකුගෙන් යුතු පිරිසක් පෝෂණය කරන්නේ කෙසේද.? පරිසරයේ වූ අධික ශීතල මකා ගන්නට පොරෝනාවක් ගන්නට හෝ සෑහෙන මුදලක් ස්ටෙෆානියා අත නොවීය. ඒ නිසා දිනක් කම්හලේ දහවල් කෑම පැයේදී ස්ටෙෆානියා වූල් පොරෝනාවක් ගොතන්නට වූවාය. ඒ දුටු එක් පුද්ගලයෙක් තමාට මුදලට පොරෝනාවක් ගොතා දෙන්නට හැකිදැයි ඇගෙන් ඇසුවේය. ස්ටෙෆානියා සතුටින් ඒ කාර්යය භාරගත්තාය.
කල් යත්ම ස්ටෙෆානියා අතින් ගෙතෙන පොරෝනා වලට හොද ඉල්ලුමක් ලැබෙන්නට විය. ටාටරස්කා වීදියේ නිවසේ සියල්ලෝම දිවා රෑ නොබලා පොරෝනා ගොතන්නට වූහ. පොරෝනා වල උසස් තත්වයෙන් සෑහීමට පත් වෙන ගැණුම්කරුවන්ගේ අවධානය ස්ටෙෆානියා අතින් අලෙවි වන අසාමාන්‍ය පොරෝනා සංඛ්‍යාව ගැන යොමු නොවීය.
1943 වර්ෂයද එළඹිණ. ජර්මානුවන් යුද්ධයෙන් පැරදෙමින් සිටින බවට කට කතා පැතිරෙන්නට විය. එහෙත් ඕනවට වඩා සුභවාදී බලාපොරොත්තු තබා නොගන්නට ජෝසෆ් වගබලා ගත්තේය. “ජර්මානු හමුදා තාමත් නගරයේ ඉන්නවා.. පැරදෙන නිසා ඒ ගොල්ලෝ දරුණු වෙනවත් වැඩියි..”
දිනක් උදෑසන ස්ටෙෆානියා රැකියාවට යන්නට පිටත් වූවාය. පොලිස් සයිරන් නලා හඩක් ඇසිණ. නිවස් කිහිපයකට එහායින් වූ නිවෙසක් නාසි හමුදාව විසින් වට කරන ලදී.. අනතුරුව ඔවුහු බියෙන් ගැහෙමින් උන් යුදෙව්වන් කිහිප දෙනෙකු හා යුදෙව්වන්ට ආරක්ෂාව සැපයූ පවුලේ අයද වැටලූ ගෙයින් එළියට ඇදගත්හ. ස්ටෙෆානියා සිටි තැනම ගල් ගැසුණාය. නාසි හමුදා භටයින්ගේ තුවක්කු වලින් නික්මුණු වෙඩි හඩට ත්‍රාසයෙන් ඇළලෙමින් සවන් දුන්නාය. මාවත තෙත් කරමින් ගලා යන ලේ දහරා දෙස මොහොතක් භීතියෙන් බලා උන් ඈ ආපසු හැරී නිවසට දිව්වාය. ඊලග සති කිහිපය තුළදී ඇයට කෑමට හෝ නිදාගැනීමට නොහැකි විය. තමන්ගේ තීරණයකින් හෙලේනාගේ ජිවිතයත් අනතුරේ හෙලන්නේ කෙසේද.?
තමන්ට තව දුරටත් ඔවුන්ට රැකවරණ සලසන්නට නොහැකි බව කියන්නට එක් දිනක් ඇය ජෝසෆ්ව සොයා කාමරයෙන් එළියට ආවාය. ජෝසෆ් හා අනෙක් තරුණයා උන්නේ හෙලේනාත් සමග සෙල්ලම් කරමිනි. ස්ටෙෆානියා මද වෙලාවක් ඔවුන්ගේ සෙල්ලම දෙස බලා උන්නාය. මෙතුවක් කල් තමාත් හෙලේනාත් හුදෙකලාව ගෙවූ දිවියට ලැබුණේ මොන තරම් වෙනසක්ද.? හෙලේනාගේ දෙනෙක් ප්‍රීතියෙන් බබලනු ස්ටෙෆානියා දුටුවාය.
“මේක තමයි මගේ පවුල.. මට මගේ පවුලෙ අයව පාවලා දෙන්න බෑ..” ස්ටෙෆානියා තීරණය කළාය.
මාස කීපයක් ගෙවිණ. මද වැසි සහිත එක උදෑසනක හෙලේනා හදිසියේම ස්ටෙෆානියා වෙතට දිව ආවාය.
“ජර්මන් හමුදාව එනවා..”
යුදෙව්වෝ වහ වහා අටුවට නැග නිසොල්මන් වූහ. ස්ටෙෆානියා ගොස් දොර හැරියාය. නිවසින් ඉවත් වෙන්නට ඔවුන්ට පැය දෙකක් කල් දෙන බව බුම්මා ගත් මුහුණින් යුතු හමුදා නිලධාරියෙක් කියා සිටියේය.
“ඇයි..? අපි මොනවද කළේ..?” ස්ටෙෆානියා ඇසුවාය.
“මේ වීදියේ හමුදා රෝහලක් පිහිටුවන්නයි යන්නෙ.. අපේ හෙද නිවාස වලට අපිට මේ ගෙදර ඕන..” එය අණදීමකි.
“ඔයයි හෙලේනායි දැන්මම කොහේ හරි යන්න..” හමුදා නිලධාරීන් පිටව ගිය විට ජෝසෆ් ස්ටෙෆානියාට කීවේය.
“එතකොට ඔයාලා..?”
“සටන් කරලා මැරෙනවා..” ජෝසෆ් පිළිතුරු දුන්නේය.
“අපි මෙච්චර දවසක් හිටියෙ එකටනෙ.. සටන් කරන එකත් එකටම කරමු..” ස්ටෙෆානියා යාඥා කරන්නට මරිය මව්තුමියගේ පින්තූරය ඉදිරිපිට දණ ගසා ගත්තාය. තමන්ගේ විශ්වාසය තමන්ට පිටු නොපාන බව ඇය දැන උන්නාය.
“බය වෙන්න එපා.. ගෙදර අත් ඇරලා යන්නත් එපා.. දහතුන්දෙනාව උඩ තට්ටුවට යවලා ජනේල අරින්න.. ගේ අස්පස් කරන්න.. සතුටින් ඉන්න..” කවුදෝ කාරුණික හඩකින් ඇගේ දෙසවනට මුමුණනු ඇසිණ.
“මං ඔයාලව අත් ඇරලා යන්නේ නෑ.. හැම දේම හොදින් සිද්ධ වෙයි.. ඔයාලා උඩ තට්ටුවට යන්න..” ස්ටෙෆානියා යුදෙව්වන්ට දැනුම් දුන්නාය.
අනතුරුව ඇය කවුලු විවෘත කොට දමා නිවස පිරිසිදු කරන්නට පටන් ගත්තාය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ජර්මානු හමුදා භටයා නැවතත් පෙනී සිටියේය.
“ගෙදර අත් ඇරලා යන්න ඕන නෑ..” ඔහු කීවේය. “අපිට ඕන එක නිදන කාමරයක් විතරයි.. අපේ හෙදියො දෙන්නෙකුට..”
මෙය කබලෙන් ලිපට වැටීමක්ද.? ජර්මන් හෙදියන් දෙදෙනෙකු සිටින නිවසක් තුළ යුදෙව්වන් දහතුන් දෙනෙකු සගවා තබා ගන්නේ කෙසේද..?
“ඒ ගොල්ලො ඉන්න වෙලාවට කිසි කෙනෙක් කිසිම සද්දයක් නොකරන්න මං වගබලාගන්නම්..” ජෝසෆ් පොරොන්දු වූුයේය.
සතිියකට පසු ජර්මන් හෙදියන් දෙදෙනා ඒ නිවසෙහි පදිංචියට ආහ. ඔවුන්ගේ දවසින් වැඩි කොටසක් ගෙවුණේ රෝහලේය. එහෙත් රාත්‍රිය නම් සැබෑම හිසරදයක් විය. ජර්මන් සොල්දාදුවෝ නිතරම මේ හෙදියන් මුණ ගැසෙන්නට නිවසට එන්නට පටන් ගත්හ. බොහෝ රාත්‍රීන් වල ඔවුනගේ ගෝෂකාරී සාදයන් ඉවසන්නට ස්ටෙෆානියාටත් නැගණියටත් සිදු විය. මේ හැම රාත්‍රියකදීම, සැගවී සිටින යුදෙව්වන් තුළ බියත් දෙගිඩියාවත් කොයි තරම් ගින්නක් අවුළුවන්නට ඇතිද.?
එක් සැන්දෑවක ජර්මන් හෙදියන් දෙදෙනා නිවසට පැමිණියේ තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සමගය. ඔවුන්ගේ කතා බහද අමුතු විය. හදිසියේම එක් හෙදියක් අටුවට නගින තරප්පුව දිගේ නගින්නට වූවාය. යුදෙව්වෝ තනන ලද ව්‍යාජ බිත්තිය පසුපසට වී ගල් ගැසී සිටියහ. හුස්ම ගන්නා හඩ පවා නතර කරගන්නා තරමට ඔවුහු බියපත්වී සිටියහ. බිත්තියේ වූ සිදුරකින් ජෝසෆ් සියල්ල බලා උන්නේය. තරප්පු දිගේ ඇසුණු අඩි හඩ, දුඹුරු පැහැ හිසකේ සහිත හිස් බවට පත් වී මතු මහලට එබෙනු ඔහු දුටුවේය. මද වෙලාවක් එහි රැදී උන් ඔවුන් නැවතත් තරප්පුව බැස යනු ජෝසෆ්ට ඇසිණ.
මරණයේ තවත් එක් පරික්ෂණයකින් ඔවුහු සමත් වී සිටියහ.
පසුදින නැවතත් අවාසනාව ඔවුන් සොයා ආවේය. ස්ටෙෆානියා රැකියාව කළ කම්හල වසා දැමෙන බව එහි කළමනාකරු නිවේදනය කළේය. පහලොස් දෙනෙකුගේ ජීවිත වලට අත්වැල සැපයූ ස්ටෙෆානියාගේ වැටුපද ඔවුන්ට අහිමි වී ගියේය. පොරෝනා ගෙතීීමේ ප්‍රයත්නය දෙගුණ කරන්නට සියළු දෙනාම උත්සාහ කළහ. එහෙත් එක් පොරෝනාවක් මුදල් සැැපයුවේ තිදෙනෙකුට එක් දිනකට ප්‍රමාණවත් කෑම සැපයීමට පමණකි. පොරෝනා මිලදී ගන්නන් සොයා ගැනීමද කල් යත්ම අසීරු විය. කුසගින්නත් සමග දින ගණන් ගෙවෙන්නට විය. සියළු දෙනාම කුසගින්නේ සිටි එවන් දවසක තවත් අභාග්‍යයක පෙරනිමිත්තක් ඔවුන් සොයා පැමිණියේය. රෝහලේ සිට නිවසට පැමිණිි එක් හෙදියක් ස්ටෙෆානියාට නියෝගයක් නිකුත් කළාය.
“අපි ආපහු ජර්මනියට යන. අපිට අත් උදව්කාරියක් ඕන.. අපිත් එක්ක යන්න ලෑස්ති වෙනවා..”
ස්ටෙෆානියා නිහඩව ගමනට ඇදුම් සූදානම් කලාය. හෙලේනාට හොද ඇදුම් අන්දවා ඇයවද සූදානම් කළාය. මේ ගමනට තමා කොතරම් කැමතිදැයි ජර්මන් හෙදියන් සමග ප්‍රීතියෙන් යුතුව අතොරක් නොමැතිව කතා කළාය. හෙදියන් පිටත්ව යන බස් රථය පැමිණි විට ඔවුන් රථයට නගිනතුරු බිම සිට පමා වූවාය. සියල්ලන්ම රථයට නැංග පසුත් ස්ටෙෆානියා නැංගේ නැත. බස් රථයේ රියදුරා කීප වරක්ම නලාව හඩ නැංවීය.
“මම යන්නෙ නෑ.. මගේ අදහස වෙනස් කළා..” ස්ටෙෆානියා බිම සිට හඩ නගා කීවාය. කෝප වූ හෙදියන් කෑ ගසන්නටත් බනින්නටත් වූ නමුත් ගමනට හදිස්සියෙන් සිටි රියදුරා රථය ඇද්දුවේය. ස්ටෙෆානියා ප්‍රීතියෙන් සිනාසෙමින් නැවතත් නිවසට දිව්වාය. නිවස තුළ තුෂ්ණිම්භූතව උන් ඇගේ දහතුන් දෙනාගේ පවුල වෙත දිවගොස් ජෝසෆ්ව වැලද ගත්තාය.
“මම කොහොමටවත් ඔයාලාව දාලා යන්නේ නෑ..”
ක්‍රමයෙන් නාසි හමුදාවෝ නගරයෙන් නික්ම ගියහ. “ජර්මන් කාරයෝ එනවා..” දිනක් උදෑසනම ජෝසෆ් දිව ආවේය. කවුළුවෙන් පිටත බැලූ ඔවුන්ට දක්නට ලැබුණේ තුවක්කු පවා නැතිව පරාජිත මුහුණු වලින් යුතුව වීදිය දිගේ ගමන් කරන ජර්මන් හමුදා භටයින් තිදෙනෙකි. ඒ ඔවුන් ජර්මන් සතුරන් දුටු අවසන් වතාව විය. ජර්මානුවන් නගරය හැර ගොස් ඇති බවත්, ඔවුන් ආරක්ෂිත බවත් පැහැදිලිවම නිශ්චය කොට ගත් යුදෙව්වෝ මතු මහලින් පහලට බැස්සහ.
නැවතත් ඔවුහු නගරයේ නිදහස් වැසියෝය.. ටාටරස්කා වීදියේ නිවසේ සිටි නිවැසියෝ ප්‍රීතිය සමරන්නට වූහ. ජෝසෆ් ස්ටෙෆානියාවත් හෙලේනාවත් දෑතින් වැලද ගත්තේය.
1945 යුද්ධය  අවසන් වී මාස කීපයක් ගත වූ විට ජෝසෆ් නැවතත් ස්ටෙෆානියාව සොයා ආවේය.
“ස්ටෙෆී.. අදත් මං ආවෙ දෙයක් ඉල්ලන්න.. ඔයාට මතකද එදා මං මෙහෙට මුලින් ආපු දවස..? මං ඔයාගෙන් ඉල්ලුවෙ.. එකම එක දවසක් මේ ගෙදර නවතින්න ඉඩ දෙන්න කියලා..”
“ම්..”
“අද මං ඉල්ලන්නෙ.. මගේ මුළු ජීවිතේම ඔයාගෙ ලගින් නවතින්න මට ඉඩ දෙන්න කියල.. මට ඒකට අවසර ලැබෙනවද..?”
-----------------------------------------
එයින් දින කීපයකට පසුව ජෝසෆ් බර්මින්ස්කිත්, ස්ටෙෆානියා පොඩ්ගරස්කාත් විවාහ වූහ. 1961 දී බොස්ටන්හි රෝහලක දන්ත වෛද්‍යවරයෙකු ලෙස ජෝසෆ්ට රැකියාව ලැබිණ. හෙලේනා වෛද්‍යවරියක වී පෝලන්තයට ගොස් එහිදී විවාහ වූවාය. 1993 දී ජෝසෆ් හා ස්ටෙෆානියාට පෝලන්තය, ඊශ්‍රායලය, ඇමරිකාව වැනි රටවල ප්‍රභූන් සමග වොෂින්ටනයේ හොලොකෝස්ට් අනුස්මරණ කෞතුකාගාරයේ පැවති සමුලුවකට සහභාගි වෙන්නට අවකාශ ලැබිණ. ඔවුන්ගේ සංවේදී කතාන්දරය ලෝකය හමුවට පැමිණියේ එතැනදීය.

නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ පුවත්පත
09.12.2018