Saturday, November 24, 2018

සූවස් ඇල මැද අට අවුරුදු සිර දඩුවම



අරාබීන් සහ යුදෙව්වන් කිසි දිනෙක එකිනෙකා කෙරේ හිත හොදින් උන්නේ නැත. 19 වන සියවසේ අග භාගයේදී යුදෙව් වාදය සහ අරාබි ජාතිකවාදය නැගී සිටින්නට වීමත් සමග දෙපාර්ශවය අතර අර්බුද උග්‍ර විය. මේ ගැටුම් හා අර්බුද දෙපාර්ශවයේම මිනිසුන් වෙත ඉතිරි කළේ බිහිසුණු මතකයන්ය.
එහෙත් මේ යුද්ධය මැද “කහ නැව් බලඇණියේ කතාව” නම් සුවිශේෂීය.
1967 දී ඊශ්‍රායලයත් ඊජිප්තුවත් අතර ඇති සබදතාවය පළුදු වූයේ ඊජිප්තුව විසින් සිනායි අර්ධද්වීපය වටා ඇති ටයිරන් මුහුදු කලාපය ඊශ්‍රායල නාවුක යාත්‍රා වලට තහනම් කලාපයක් කිරීම හේතුවෙන්ය. ඊශ්‍රායලය මෙයට ප්‍රතිචාර දැක්වූයේ සිනායි අර්ධද්වීපය තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමෙනි. ඊශ්‍රායල් හමුදාවන්ට පැරදුණු ඊජිප්තු හමුදා භට පිරිස් දකුණට පසු බැස්සාහ. එහෙත් ඒ නිකම් නම් නොවේ. ඊශ්‍රායල ජාතිකයන්ට සූවස් ඇලද අවහිර කරමිනි.
මෙම දෙපාර්ශවය අතර ගැටුම් ඇරඹෙන ගිම්හාන කාලය වන විට යුධ නැව් පහලොවකින් යුතු නැව් බලඇණියක් සූවස් ඇල දිගේ දකුණු දෙසට එමින් සිටියහ. බ්‍රිතාන්‍ය නැව් හතරක්, ඇමරිකානු නැව් දෙකක්, ස්වීඩන නැව් දෙකක්, පෝලන්ත නැව් දෙකක්, බටහිර ජර්මනියට අයත් නැව් දෙකක්, ප්‍රංශ නැවක්, බල්ගේරියානු නැවක් හා චෙකොස්ලෝවැකියාවට අයත් නැවක් ඒ නැව් පහලොවේ සමූහයට අයත් වීය. සූවස් ඇල අවහිර කරන්නට ඊජිප්තු ජනපති ගමාල් අබ්දුල් නසාර් අණ දෙන විටත් මේ නැව් සමූහය තම ගමන්මගෙහි අඩක්ම ගෙවා දමා තිබිණ.
ඊජිප්තු ජනපතිගේ අණින් පැය ගණනක් ඇතුලත, ඊජිප්තු හමුදාවන් විසින් පැරණි නැව්, මඩ කණින යාත්‍රා සහ වෙනත් මුහුදු යාත්‍රාවන් විශාල සංඛ්‍යාවක් ගෙනවුත් සූවස් ඇලේ ඉවුරු දෙපසදී ඒවා ගිල්වා දැමුවේ කිසිම යාත්‍රාවකට සූවස් ඇලට ඇතුළු වීම සහ එයින් ඉවුරු වලට ගොඩ බැසීම යන දෙකම කළ නොහැකි වන සේය.
සූවස් ඇලේ අඩ දුරක් ගෙවාගෙන පැමිණ තිබුණු පෙර කී නැව් සමූහය මේ තීරණයෙන් අසරණ විය. ඒ අතරින් එක් ඇමරිකානු නැවක් වූ SS Observer මග වැරදී සමූහයෙන් අතරමං වී ගොස් ටිම්සාහ් විලට ඇදී ගිය අතර, ඉතිරි නැව් සූවස් ඇලේ පළලින් වැඩිම කොටස වූ Great Bitter Lake හි නැංගුරම් ලා නවත්වන ලදී.
ඒ නැව් එකකටවත් සූවස් ඇලේ ඉවුරු වලට ලං වීමට හෝ එහි වූවන්ට ගොඩබැසීමට හැකියාවක් නොවීය.
ඊශ්‍රායලය හා ඊජිප්තුව යන දෙපාර්ශවය අතර යුද්ධය දින හයක් වැනි කෙටි කාලයකට සීමා වූ නමුත් එතැනින් ඇරඹි අවුරුදු අටක කාලයක් පුරාවටම සූවස් ඇල අවහිර කොට තිබිණ. ඒ අවුරුදු අට පුරාවටම පෙර කී නැව් සමූහයට සූවස් ඇලේ නතර වී සිටින්නට සිදුවිය. ඒ නැව් වල උන් මගියන්ට කිසිදු වරදකින් තොරවම ඒ නැව් තුළ අට අවුරුදු සිරදඩුවමක් විදින්නට සිදු විය.
“අපි හිටියෙ හොද සැප පහසු බන්ධනාගාරයක..” ජකර්තා නම් වූ පෝලන්ත නැවෙහි කපිතාන් මිරොස්ලෝව් ප්‍රොස්කුර්නිකි පවසයි. “පළවෙනි මාසෙ ගෙවුණෙ මුහුද මැද්දෙ ගෙවන නිවාඩුවක් වගේ.. දෙවෙනි මාසෙ ගෙවා ගත්තෙ අමාරුවෙන්.. තුන්වෙනි මාසෙ වෙද්දිම තත්වෙ අන්තිම නරක අතට හැරිලා තිබුණා..”
පස් වෙනි මාසයේදී නැව් දාහතරේම නිලධාරීන් සහ සේවකයින් එකට එකතු වී "Great Bitter Lake Association" නම් සංගමයක් පිහිටුවා ගත්හ. කාලය ගෙවා දැමීම සදහා ඔවුන් ඒ සංගමයෙන් විවිධ ක්‍රියාකාරකම් සහ උත්සව සංවිධානය කළහ. කාඩ් සෙල්ලම් කිරීම, බාබකිව් සාද, නැව් තට්ටු මත පාපන්දු ක්‍රීඩා සහ දිය ක්‍රීඩා මෙන්ම චිත්‍රපට සැදෑවන්ද ඔවුහු සංවිධානය කළහ.
මේ එක් එක් ක්‍රියාකාරකම් සංවිධානය කෙරුණේ එක් එක් නැව් තුලය. පාපන්දු ක්‍රීඩාවන් පැවැත්වුණේ නැව් සමූහයෙන් විශාලතම නැව වූ MS Port Invercargill හි තට්ටුව මතය. දේව මෙහෙයන් පැවැත්වූයේ ජර්මන් නැව තුළය. චිත්‍රපට පෙන්වන ලද්දේ බල්ගේරියානු නැවෙහිය. මේ නැව් අතර ප්‍රවාහන මාධ්‍ය ලෙස ඔවුන් යොදා ගත්තේ නැව් වල ජීවිතාරක්ෂක බෝට්ටුය.
ඔවුන්ගේ සූවස් සිරගත ජීවිතයට වසරක් පිරෙද්දී ඔවුන් විසින් “බිටර් ලේක් ඔලිම්පික්” තරගාවලියක්ද සංවිධානය කළහ. ඔරු පැදීම, කිමිදීම, වෙඩි තැබීම, උස පැනීම, වැනි ක්‍රීඩා තරග දාහතරක් එයට ඇතුලත් විය. නැව් සේවකයෝ ජාතින් අටක් ලෙස වෙන් වී මේ තරගාවලියට සහභාගි වූ අතර එම ඔලිම්පික් තරගාවලියෙන් ජයග්‍රහණය කලේ පෝලන්ත ජාතික නැව් සේවක කණ්ඩායමයි.
ඔවුහු තම නැව් අතර තැපැල් සේවාවක්ද පවත්වා ගත් අතර, ඔවුන් විසින්ම නිර්මාණය කරගත්, අතින් අදින ලද මුද්දර පවා යොදා ගත්හ. ඔවුන් විසින් නිර්මාණය කළ මුද්දර වලට කිසිදු තැපැල් වටිනාකමක් නොවු අතර, ඒවා නියමිත ලිපිනය කරා ලගා වෙන්නට නම් ඔවුන්ගේ මුද්දර වලට අමතරව ඊජිප්තු මුද්දරද ඒ ලියුම් කවර මත ඇලවිය යුතුම විය.
වාසනාවකට මේ නාවුක සේවකයින්ට අවුරුදු අටම නැව් තුල සිරගත වී ඉන්නට නම් සිදු නොවිණ. තම තමන්ගේ නිවෙස් බලා යන්නටත්, ඔවුන් වෙනුවට වෙනත් සේවකයින් නැව් වෙත ගෙන එන්නටත් ඔවුන්ට අවසර තිබිණ. නැවි විනාශ නොවී පවත්වා ගන්නට නම් ඒවාට සේවකයින් අත්‍ය වශ්‍යම විය. නැව් පිරිසිදු කිරීම, අලුත්වැඩියාවන් කිරීම, නැව් වල ඉන්ධන අලුත් කිරීම, ගිනි ආරක්ෂක ක්‍රියාමාර්ගයන් පවත්වාගැනීම වැනි නඩත්තු කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් විය.
ඊජිප්තුවේ උණුසුම් කාලගුණය නිසා නැව් වල රාජකාරි කිරීම පවා බෙහෙවින් අසීරු විය. එනිසා මේ නැව් වල රාජකාරි වේලාව පැය අටක් වෙනුවට පැය හයක් දක්වා අඩු කරන ලදී. සෙනසුරාදා දින වල එය පැය හතරකට සීමා වූ අතර ඉරිදා දින මුළුමනින්ම නිවාඩු දවසක් විය. පොත් පත් කියවන්නටත්, ක්‍රීඩා කරන්නටත්, මත්පැන් බොමින් ගෙවා දමන්නටත් නාවුක සේවකයින්ට ඇති තරම් කාලය තිබිණ.
මාස තුනකට හෝ හතරකට වතාවක් හැම නැවකම සේවකයින් මාරු කරන ලදී. මේ අට අවුරුදු කාලය තුළ සූවස් ඇලේ සිරගත කෙරුණු නැව් වල සේවය කරන ලද සේවකයින් සංඛ්‍යාව තුන් දහසකට අධික විය. ඔවුනතරින් සමහරෙකුට සූවස් ඇලේදී ලත් අත්දැකීම් සදාකල් අමතක නොවන තරම්ය.
“විශේෂම කාරණය එය නෙවෙයි.. මේ නැව් සේවකයින් සීතල යුද්ධයේ එකිනෙකාට සතුරු පාර්ශව වල රටවල් වලින් පැමිණි අය වීමයි. සතුරු රටවල් වල මිනිසුන්ට පවා අසරණ වූ අවස්ථාවක කොතරම් මිතුරු ලෙස කටයුතු කළ හැකි දැයි දකින්නට ලැබීමම අමතක කරන්නට බැරි කාරණයක්..” බ්‍රිතාන්‍ය ලේඛක කැත් සෙන්කර් පවසයි.
අවසානයේදී 1975 වසරේදී සූවස් ඇලේ අවහිරය ඉවත් කෙරිණ.
ඒ වන විට මේ නැව් අතරින් එකොලහක්ම යාත්‍රා කිරීමට සුදුසු තත්වයක නොතිබිණ. කරදිය මැද අක්‍රියව හුදෙකලාව පැවතීම නිසා මේ නැව් දිරාපත් වෙමින් තිබිණ. මේ දිරාපත් නැව් වලට “කහපැහැ නැව් බල ඇණිය” ලෙසින් නමක්ද පටබැදිණ.
1973 වසරේදී ඊශ්‍රායල් රොකට් ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකානු නැවක් වූ SS African Glen විනාශ වී ගිලී ගියේය.
නැවතත් සිය රටවල් බලා යන්නට හැකි වූයේ නැව් දෙකකට පමණි.
ජර්මානු නැව් දෙකක් වූ Münsterland සහ Nordwind යන නැව් දෙක පමණක් නැවතත් සිය රට ගොස් තිස් දහසකට අධික නරඹන්නන්ගේ ඔල්වරසන් මැද තමන්ගේ මව් බිම කරා ලගා වෙන්නට සමත් විය.

නිම්මි මුදිතා හේරත්.
ඉරිදා දිවයින
28.10.2018

No comments:

Post a Comment