Thursday, December 13, 2018

ඇෆ්ගනිස්‌ථානය ලොවෙන් සඟවන නින්දිත රහස "බාචා බාසි"




ඒ උතුරු ඇෆ්ගනිස්‌ථානයේ දුෂ්කර ගම්මානයක විවාහ මංගල්ලයකි.

වෙලාව රාත්‍රී දොළහත් පසුවී ඇත.

මඟුල් ගෙදරක්‌ වුවද මනාලයාවත් මනාලියවත් පෙනෙන්නට නැත. එකම එක කාන්තාවක්‌වත් පෙනෙන්නට නැත. ඒත් මඟුල් ගෙදර හොඳටෝම සෙනගය. රැස්‌ව සිටින හැමෝම එක තැනකට එකතු වී සිටිති. හැමෝගේම අවධානය යොමුවී ඇත්තේ එක පිරිමි ළමයෙකු වෙතය. ඔහුගේ වයස අවුරුදු පහළොවටත් අඩුය. ඔහු පිරිස මැදට වී නටයි. ඔහු ඇඳ සිටින්නේ දිලිසෙන දිගු කාන්තා ඇදුමකි. කාන්තාවකගේ හැඩරුවම පෙනෙන සේ ව්‍යාජ පියයුරු යුගලක්‌ද පැලඳ සිටී. රතු සලුවකින් මුහුණද වසාගෙන සිටී.

නැටුම බලා උන් කිසිවෙකු ඔහු වෙත මුදල් නෝට්‌ටු දිගු කරයි. ඔහු නටන අතරතුරදීම ඒ මුදල් තම දත් වලින් ග්‍රහණය කරගනියි.

මේ ඇෆ්ගනිස්‌ථානයේ පැරණි චාරිත්‍රයකි. මේ චාරිත්‍රයේ නම "බාචා බාසි" ය. එහි අරුත "පිරිමි ළමුන් සමග ක්‍රීඩා කිරීම" හෝ "පිරිමි ළමුන්ගේ රංගනය" යන්නයි.

එහෙත් වර්තමානයේ මේ පැරණි චාරිත්‍රය දැඩි සේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන දුරාචාරයක්‌ බවට පත්ව ඇත.

ළමා අපයෝජනය, දූෂණය, හිංසනය හරහා ළමා ගණිකා වෘත්තිය දක්‌වා මේ චාරිත්‍රය අද වන විට දුරදිග ගොසිනි.

මේ බාචා බාසි වෘත්තිය පසුපස සැගව ඇත්තේ අඳුරු රහසකි. ඇෆ්ගනිස්‌ථාන රජය වුවද මෙය බාහිර ලෝකයෙන් වසන් කරගෙන තබා ගන්නට උත්සාහ කරයි.

බොහෝ විට බාචා බාසි වෘත්තිය සදහා යොමු කෙරෙන්නේ අවුරුදු දහයක්‌ දොලහක්‌ තරම් වන අඩු වයස්‌ පිරිමි දරුවන්ය. ඔවුන්ව ඒ සදහා යොමු කරවන්නේ ඔවුන්ගේ දැඩි දරිද්‍රතාවය විසිනි.

ඇෆ්ගනිස්‌ථානය යනු අධික ජනගහනයක්‌ද, පාලනයකින් තොර ජනගහන වර්ධනයක්‌ද සහිත දුප්පත් රටකි. ජනගහනයෙන් අඩකට වඩා දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අතර විරැකියාවද උග්‍රය. දුප්පත්කම නිසාම ඔවුන්ට හරි හමන් අධ්‍යාපනයක්‌ ලැබෙන්නේ නැති තරම්ය. යාන්තමින් බඩ වියත රැක ගන්නට හෝ ඉතා ලාබාල වයසේ පටන් ඔවුන්ට වැඩ කරන්නට සිදු වෙයි.

අඩු වයස්‌ පිරිමි දරුවන් "පිරිමි නාටිකාංගනාවන්" වෙන්නේද මේ දුප්පත්කම නිසාවෙනි.

පිරිමි නාටිකාංගනාවක වීම යනු කෙටියෙන් කීවොත් ලිංගික වහලෙකු වීමය.

ඇෆ්ගනිස්‌ථානය ඉස්‌ලාමීය රටකි. එසේම ඇෆ්ගනිස්‌ථානය දැඩි සේ ආගමික නීතීන්ට නැඹුරු වූ රටක්‌ ලෙසද සැලකෙයි. එහි ගැහැණුන් මෙන්ම පිරිමින්ද ඉස්‌ලාමීය නීතිය යටතේ දැඩිව පාලනය වෙයි.

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ නටන්නට ඉස්‌ලාමීය නීතියෙන් අවසර නැත. ඒ නිසා විවාහ මංගල උත්සව වලදී හා සාදයන්හිදී පැමිණෙන්නන් සතුටු කිරීම සදහා රංගනයෙහි යෙදෙන්නේ කාන්තාවන් මෙන් සියුමැලි පෙනුම ඇති පිරිමි දරුවන් විසිනි.

උත්සවයේ රැඟුම් පෑම අවසන් වූ විට රැස්‌ව සිටින වැඩිහිටි පිරිමි නරඹන්නන් විසින් මේ දරුවන්ව මිලදී ගනී. ඒ රාත්‍රිය පහන් කිරීම සදහා ළමා ගණිකාවක ලෙස යොදා ගන්නටය. මෙසේ ගෙන යන එක දරුවෙකුට මුලු රැයක්‌ පුරා බොහෝ විට තමන්ට වඩා වයසින් හතර පස්‌ ගුණයක්‌ වැඩිහිටි පිරිමින් හත් අට දෙනෙකුගේ මනදොල සපුරන්නට සිදු වෙයි. කොතරම් දැඩි ලිංගික හිංසනයකට ලක්‌ වුවද ඔවුන්ට එක්‌ රැයකට ලැබෙන්නේ ඩොලර් එකත් දෙකත් අතර සොච්චමකි.

වැඩිහිටි පිරිමින් අතින් කායික අපචාරයට ලක්‌ වෙන මේ දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද පිරිහෙති. එහෙත් මේ ළමා හිංසනය ගැන හෝ ඔවුන්ගේ ශාරීරික මානසික සෞඛ්‍යය ගැන කතා කරන්නට හැකි නීතියක්‌ එරට නැත.

බොහෝ විට මේ නින්දිත අපචාරය කරන වැඩිහිටි පිරිමින් බලවත් හා ධනවත් උදවියයි. අපචාරයට ලක්‌වන දරුවන් බෙහෙවින් දිළිඳු පවුල් වල දරුවන්ය. එනිසා මේ අසාධාරණය වෙනුවෙන් අසරණව නිහඬව සිටින්නට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සිදුවෙයි.

"ඔමිඩ්" එවැනි අසාධාරණයට ලක්‌වුණු අපයෝජනය වුණු "බාචා බාසි" දරුවෙකි.

ඔමිඩ් යනු ඔහුගේ සැබෑ නම නොවේ. ඔහුගේ වයස අවුරුදු පහළොවකි. ඔමිඩ්ගේ පියා මිය ගියේ කුඹුරේ වැඩ කරමින් සිටිද්දී බිම් බෝම්බයක්‌ මත පය තැබීමෙනි. ඒ වන විට ඔමිඩ්ගේ වයස අවුරුදු දහයකි. එහෙත් ඔහු පවුලේ වැඩිමහල් දරුවාය. පියා මිය ගිය පසු පවුල රැකගැනීමේ වගකීම පැවරුණේ ඔහුටය.

"තාත්තා මැරෙනකොට මට වයස අවුරුදු දහයයි. මට බාල මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා... තාත්තා මැරුණට පස්‌සෙ අපි තුන්දෙනාට කන්න දෙන්න අම්මා පාරෙ හිඟා කෑවා. ඒත් අම්මා හිඟාකාලා හොයන සල්ලි අපි හතර දෙනාට කන්නවත් මදි... ගොඩක්‌ වෙලාවට අපි හිටියේ බඩගින්නේ... අපිට වෙන කරන්න දෙයක්‌ තිබුණෙත් නෑ...

"ඒ හින්දා තමයි අවුරුදු දහයේ ඉදන්ම මම මඟුල් ගෙවල් වල නටන්න ගියේ. එක උත්සවේක නටනවට මට හම්බ වුනේ ඩොලර් දෙකකුයි බත් පිගානකුයි විතරයි.."

ඔහු එසේ කීවද උත්සවයක්‌ නිමවුණු පසු ඔහුව ලිංගික වහලෙකු ලෙස හෝටලයකට රැගෙන ගිය පසුවද එක්‌ රැයක්‌ සදහා ඔහුට ලැබුණේa ඩොලර් දෙකක්‌ පමණකි. එවන් බොහෝ රාත්‍රීන් වල ඔහු දරුණු සමූහ දූෂණයකට ලක්‌ වී ඇත.

ඔහු මේ ගැන පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි ඇසූ විට ඔහු කීවේ "ඒ ගොල්ලො ගොඩක්‌ පෝසත් මිනිස්‌සුනෙ.. පෝසත් අයට පොලිසියෙ අය මොනවත් කරන්නෙ නෑනෙ..." කියා පමණකි.

ඔමිඩ්ට සිටින එකම වැඩිහිටියා ඔහුගේ මවය. ඇයගේ වයස අවුරුදු තිහකි. එහෙත් ඇගේ පෙනුම අවුරුදු පනහත් ඉක්‌මවූ සෙයකි. දවසම සිගා කෑමෙන් ඇයට උපයා ගත හැකි වස්‌තුව වනුයේ හාල් රාත්තල් බාගයකුත් ලුණු ගෙඩි කීපයකුත් පමණකි. හතරදෙනෙකුගේ එක වේලකටවත් එය පිරිමැසෙන්නේ නැත. තමන්ගේ පුතු උත්සව වල නටන බවත්, ඉන් පසු වැඩිහිටි පිරිමින්ගේ මනදොල පිනවන්නට ගණිකා වෘත්තියේ යෙදෙන බවත් ඇය දනියි. ඒත් ඇයට ඊට වඩා වැදගත් වනුයේ වේලක්‌ පිරිමසා ගන්නට සොච්චමක්‌ අතට ලැබීමය. තම ලාබාල පුතු මුහුණ දෙන්නේ කොතරම් අමානුෂික හිංසනයකටද, අපචාරයකටද යන්න ගැන ඇයට අවබෝධයක්‌ නැත.

මේ දරුවන් බාචා බාසි වෘත්තියට වැටෙන්නේ අවුරුදු නවයක්‌ දහයක්‌ තරම් අඩු වයසේදීය. අවුරුදු දාසය දාහත ඉක්‌මවන විට ඔවුන්ට ඇති ඉල්ලුම අඩු වෙයි. අවුරුදු විස්‌සක්‌ වෙන්නටත් ප්‍රථම ඔවුන්ගේ ජීවිත විනාශ වී හමාරය.

කායිකව බරපතල ලිංගික අපයෝජනයකට ලක්‌ වන ඔවුන් මානසිකව සුව කළ නොහැකි තරමේ තුවාල කැලැල් වලට උරුම කම් ලබති. මුලු මහත් ළමා කාලය පුරාමත් නව යොවුන් විය පුරාමත් නැටීම හා අපචාරයට ලක්‌වීම හැරෙන්නට වෙනත් අධ්‍යාපනයක්‌ හැකියා සංවර්ධනයක්‌ නොලබන ඔවුන්ට එතැනින් ඔබ්බට ජීවිතය ගෙනයන්නට මාර්ගයක්‌ නැත.

බාචා බාසි වෘත්තියෙන් හප වී ඉවතට විසි වෙන ඔවුන්ගේ උරුමය වන්නේ මහපාරය.

"කමාල්" ඒ ඉරණමට මුහුණ පෑ අයෙකි.

කමාල් උත්සව වල නටන්නට පටන් ගන්නා විට ඔහුගේ වයස අවුරුදු දාහතරකි.

"තාත්තා නැති වුණාට පස්‌සේ අම්මා මාව පවුලේ හිතවතෙකුගෙ ගෙදර නැවැත්තුවා.. එයා තමයි මං විශ්වාස කරපු එකම මනුස්‌සයා.. අපි කීප දෙනෙක්‌ම හිටියා.. අපි උත්සව වල නටන්න ගියා මතකයි.. මගේ හාම්පුතා කිව්වේ මම තමයි එයාගෙ පුතා කියලා.. හාම්පුතාට හිටපු කොල්ලෝ අතරින් ලස්‌සනම මම නෙවෙයි.. ඒත් හොඳටම නටන්න පුලුවන්කම තිබුණේ මට.. හාම්පුතාගෙ නෝනා දැනගෙන හිටියා අපෙයි හාම්පුතාගෙයි සම්බන්ධකම.. ඒත් එයා ඒකට හුරු වෙලා හිටපු නිසා අපිටත් සැලකුවේ පවුලේ අයට වගේමයි..

අනූ දෙකේදි තලේබාන්ලා රටේ පාලනය අල්ලගත්තට පස්‌සෙ මගේ හාම්පුතාට රටෙන් පැනල යන්න සිද්ධ වුණා.. ඒ ගොල්ලෝ රටින් පැනලා යනකොට අපිව ගෙනිච්ෙච් නෑ.. ජීවත් වෙන්න වෙන දෙයක්‌ මම ඉගෙනගෙන තිබුණෙත් නෑ.. අපිට ඉතින් කරන්න වෙන දේකුත් නෑනේ.. තලේබාන්ලා ආවාට පස්‌සේ නැටුම් එහෙමත් තහනම් වුණා.. අපි හිටියේ හැංගිලා වගේ.. බාචා බාසි කෙනෙක්‌ විදිහට වැඩ කරලා වයස පැන්නාම ගොඩක්‌ අය කරන්නේ එක්‌කෝ පිරිමි ගණිකාවක්‌ වෙන එක.. නැත්තම් පාතාලේ අපරාධ වලට සම්බන්ධ වෙන එක.. නැත්තම් කුඩු විකුණන්න සම්බන්ධ වෙන එක.."

ඇෆ්ගනිස්‌ථානය තලේබාන් පාලනයට යටත් වීමත් සමගම ඉස්‌ලාමීය අන්තවාදය යටතේ නැටුම් ගැයුම් තහනම් වූ නිසා බාචා බාසි සැඟවී කරන වෘත්තියක්‌ බවට පත් විය. එහෙත් තලේබාන් පාලනය ඇදවැටීමත් සමග බාචා බාසි ජාවාරම තිබුණාටත් වඩා හොඳින් කෙරෙන සරුසාර ජාවාරමක්‌ විය. මේ ජාවාරම මැඩපවත්වන්නට එරට නීතිය විසින් හෝ බලධාරීන් විසින් කිසිදු පියවරක්‌ ගන්නේ නැත. ඇෆ්ගනිස්‌ථානය තුල බාචා බාසි ළමා ලිංගික වහල් සේවය ඇති බව තමන්ට වාර්තා නොවන බව ඇෆ්ගනිස්‌ථාන බලධාරීන් පවසති. එය පුරාණයේ ඈත ගම්මාන වල පමණක්‌ පැවතුණු චාරිත්‍රයක්‌ බවත් වසර ගණනාවකින් එවන් සිදුවීමක්‌ වාර්තා වී නැති බවත් ඔවුන් පවසයි. එහෙත් ඇෆ්ගනිස්‌ථානයේ උතුරු පෙදෙසින් පත් වුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු වන අබ්දුල් කබීර් අච්ක්‌වන් පවසන්නේ බචා බාසි වහල් සේවය තවමත් පවතිනවා පමණක්‌ නොව එය දිනෙන් දින ඇෆ්ගනිස්‌ථාන පිරිමි දරුවන් බහුතරය ග්‍රහණය කරගන්නා ජාවාරමක්‌ වෙමින් වැඩෙන බවය.

"අවාසනාවකට වගේ ඇෆ්ගනිස්‌ථානයේ හැම පළාතකම වගේ මේක පැතිරෙනවා... මේ ජාවාරම පාලනය කරන්න කියලා මම කීප වතාවක්‌ම ප්‍රසිද්ධියේ අපේ පාලකයින්ගෙන් ඉල්ලුවත් මේ ගැන කිසිම කෙනෙක්‌ කිසි පියවරක්‌ ගන්නෙ නෑ.." ඔහු පවසයි.

ලාබාල පිරිමි දරුවන් මෙසේ බාචා බාසි ලිංගික වහල් සේවයට විකිණීම ලාබදායි ජාවාරමක්‌ වන බැවින් මේ වන විට ඇෆ්ගනිස්‌ථානය තුල බාචා බාසි හාම්පුතුන් දිනෙන් දින වැඩි වෙමින් පවතියි. මේ හාම්පුතුන් සියුමැලි පෙනුමක්‌ ඇති වයස අවුරුදු නවය දහය වයස්‌ කාණ්‌ඩ වල දරුවන් තම සේවකයන් වශයෙන් එක්‌ කරගැනීමට දුගී පවුල් කෙරේ ඇස ගසාගෙන සිටියි.

එසේ හෙයින් ඇෆ්ගනිස්‌ථානය තුල කුඩා පිරිමි දරුවන් ගැහැණු දරුවන්ට වඩා අපචාර වලට ලක්‌ වීමේ සහ පැහැරගැනීමේ අවදානමකට ලක්‌ව සිටී.

"බාචා බාසි" මුදල් ඉපයීමේ ජාවාරමක්‌ ලෙස මහාපරිමාණයෙන් කරන ජාවාරම් කරුවන්ට ඇෆ්ගනිස්‌ථානයේ අධික දුප්පත්කම ආශීර්වාදයකි. ඇෆ්ගනිස්‌ථානයේ නගරවල වීදි වල ඇති පදම් දුගී දරුවෝ සිටිති. ජීවත් වෙන්නට සොච්චම් මුදලක්‌ හෝ හොයා ගන්නට නගර වල වීදි ගානේ සිඟමන් යදින, පාවහන් ඔප දමන, විකිණිය හැකි බෝතල් පත්තර කැලි කසල වැනි ඕනෑම දෙයක්‌ එකතු කරන දුගී දරුවෝ ඇෆ්ගනිස්‌ථානයේ බහුලය. ඒ දරුවන් අතරින් බාචා බාසි වෘත්තියට යොදා ගන්නට හැකි දරුවන් සොයා ජාවාරම් කරුවෝ වීදි පීරති.

දුප්පත්කම නිසාම වීදි දරුවන් වන මෙකී දරුවන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම එරට රජයට පවා අපහසුය. ඇතැම් ජාවාරම් කරුවන් මේ දරුවන්ව ඔවුන්ගේ දෙමාපියන් වෙතින් රැගෙන එන්නේ දරුවාට අවශ්‍ය සියලුම දේ සැපයීමේ සහ අධ්‍යාපනය ලබා දීමේ පොරොන්දුව පිටය. එහෙත් මේ දරුවන්ට ලැබෙන්නේ නැටුම් ගැයුම් ආදිය පිළිබඳ පුහුණුව පමණකි. ඉන් පසු ඔවුන්ව බාචා බාසි වෘත්තියේ යොදවා ජාවාරම් කරුවන් විසින් මුදල් උපයනු ලබයි. මෙවැනි දරුවන් උත්සව වල නැටවීම හා ලමා ගණිකා වෘත්තියේ යෙදවීමෙන් පමණක්‌ නොව මෙම දරුවන් ධනවතුන්ට විකිණීමෙන්ද ඔවුහු මුදල් උපයති.

මෙවන් බාචා බාසි හාම්පුතුන් ළඟ කුඩා පිරිමි ළමුන් විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඇතැම් විට එය සියයද ඉක්‌මවන බව අසන්නට ලැබෙයි. මෙම පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගේ අවශ්‍යතා සපුරන්නට ලබා දීමෙන් ඔවුහු මහා පරිමාණයෙන් මුදල් උපයා ගනිති.

බොහෝ විට මෙසේ ගැනුම්කරුවන් විසින් හෝටල් වලට රැගෙන යන දරුවන්ට දරුණු ලිංගික අතවර වලට මුහුණ දෙන්නට සිදු වෙයි. ඒ තත්වයට මුහුණ දෙන්නට පහසු කරවීම පිණිස ඒ දරුවන් අයිති ජාවාරම් කරුවන් විසින් ඔවුන්ට මත් ද්‍රව්‍ය ලබා දෙයි.

මෙසේ රැයක්‌ ගානේ මත් ද්‍රව්‍ය ගෙන ගැනුම් කරුවන් පිනවන මේ දරුවන් අඩු වයසින්ම හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෝ බවට පත් වෙති.

මේ හාම්පුතුන්ගේ බාචා බාසි නිවාස වලින් පිටව යන්නට මෙම කුඩා පිරිමි ළමුන්ට අවසර නැත. ඔවුහු හාම්පුතාගේ සිරකරුවෝ වැනිය. මේ තැන් වලින් පැන යාමට තැත් කරන දරුවන්ට අනන්ත තාඩන පීඩන වලට මුහුණ පා නැවතත් මේ නිවාස වලම කොටු වෙන්නට සිදු වෙයි. ඇතැම් විට මේ නිවාස වලින් පැන යන්නට තැත් කිරීම මරණයට අතවැනීමක්‌ද විය හැක.

"අපි මෙහෙන් පැනලා කොහේ යන්නද. අපිව සමාජයෙන්වත් අපේ ගෙවල් වලින්වත් බාරගන්නේ නෑනේ..." එවන් නිවාස වල කොටුවී සිටින ඇතැම් දරුවෝ කියති.

මෙවැනි "බාචා බාසි" දරුවන්ව ඇතැම් ධනවතුන් විසින් තම පෞද්ගලික පරිහරණය සදහා මිලදී ගනී. යමෙකු සතුව සිටින බාචා බාසි ලිංගික වහලුන් ගණන ඔහුගේ ධනවත්කමේ තරම පෙන්වන සාධකයකයි ඇෆ්ගනිස්‌ථානයේ ධනවත්තු සිතති.

'සාබි' බාචා බාසි දරුවන් කිහිපදෙනෙකු අයිති හතලිස්‌ හැවිරිදි ධනවතෙකි. ඔහු පදිංචිව සිටින්නේ කාබුල් නුවරය.

"මට බාචා බාසි තුන්දෙනෙක්‌ ඉන්නවා.. බාලම බාචාගෙ වයස අවුරුදු පහළොවයි. වැඩිමල් එක්‌කෙනාට අවුරුදු දහඅටයි.." ඔහු කියන්නේ ආඩම්බරයෙනි. "මේ ගොල්ලන්ව ගන්න එකත් ලේසි නෑ. ඒත් ඉතින් උවමනාවක්‌ තියනව නං හොයා ගන්න එක ඒ හැටි දේකුත් නෙවෙයි.. මං ඒගොල්ලොන්ට ඕන හැම දෙයක්‌ම දෙනවා.. හොදට කන්න බොන්න දෙනවා.. ගොඩක්‌ දවස්‌ වලට හැන්දෑවට මගේ යාලුවො මාව හම්බ වෙන්න එනවා.. බාචා බාසිලා තුන්දෙනාට තියෙන්නේ නටලා සින්දුවක්‌ එහෙම කියලා අපිව සන්තෝස කරන එක තමයි..

සමහරු පොර කුකුල්ලු කොටවන්න කැමතියි. සමහර අය බල්ලො ඇති කරන්න කැමතියි.. ඒ වගේ තමයි.. අපේ කැමැත්ත බාචා බාසිලා තියාගන්න එක. ඒකෙ ඇති වැරැද්ද මොකක්‌ද..?" සාබි පවසයි. මේ ලාබාල දරුවන්ගේ මානව හිමිකම් ගැන අල්පමාත්‍ර හැගීමක්‌ අවබෝධයක්‌ නැති ඇෆ්ගනිස්‌ථාන් වැසියන් බහුතරයකගේ අදහස්‌ එපරිදිය.

සාබි වැනි ධනවතුන් ඇෆ්ගනිස්‌ථානයේ හිඟ නැත. ඔවුහු බාචා බාසි වෘත්තියට කැමතිය. ඇෆ්ගන් වැසියන්ගෙන් බහුතරය මේ අපචාරයට කැමතිය. ඉතිරි අය ඊට එරෙහිව හඬ නඟන්නේද නැත.

ඇෆ්ගන් රජයට මේ ගැටලුව විසඳන්නට හැකියාවක්‌ හෝ උවමනාවක්‌ නැතැයි මේ අපචාරයට එරෙහි අල්ප වූ වැසියෝද පවසති.

ඇෆ්ගන් නීති පද්ධතිය දුර්වලය. ඇෆ්ගනිස්‌ථානයේ දුප්පත්කම උග්‍රය. එනිසා වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් දුගී දරුවන් දහස්‌ ගණනින් ජීවත් වෙන්නට යමක්‌ උපයා ගන්නට වීදියට වැටෙනු ඇත. ඒ දුප්පත්කම පවතින තාක්‌ කල් බාචා බාසි ළමා ලිංගික වහල් සේවයද පවතිනු ඇත.

නිම්මි මුදිතා හේරත්




ඉරිදා දිවයින 
29.01.2017

1 comment:

  1. මේ ගැන කනින් කොනිං අහල කියවල තිබුණට අද තමයි මේ තරම් විස්තරයක් දැන ගත්තෙ. ඇෆ්ගනිස්තානයේ දුප්පත්කම සහ අධ්‍යාපනය නැතිකම තමයි හැමදේටම මුල... ඒ මිනිස්සු ජීවිතය ගැට ගහගන්න ⁣මරාගෙන මැරෙන බෝම්බකාරයෝ වෙන එකේ ඉදං ගණිකා වෘතිය දක්වා යොමු වෙන්නෙ කැමැත්තෙන් නම් නෙමෙයි.

    බොහොම ස්තූතියි !

    ReplyDelete